Monday, August 25, 2025
Follow Us
උතුරේ විරෝධතාවට සහභාගී වීම ගැන ප්‍රශ්න කරන්නට මනෝගේ නිවසට පොලිසිය යවයි

පසුගියදා අම්පාරේ පොතුවිල් සිට යාපනය පොල්ලිකණ්ඩි දක්වා පැමිණි විරෝධතා පාගමනට සහභාගී වීම පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (16) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නිවසට පොලිස් කණ්ඩායමක් පැමිණ තිබේ.

"මා අර තහනම් නියෝගය කඩ කරා කියන එක මට ප්‍රවෘත්තියක්. මම දන්නෙ නෑ, මට කවුරුත් ගෙනල්ලා බාරදුන්නෙත් නෑ, මට ඇහුණෙත් නෑ. ඒ සිදුවීම මම දකිනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සිදුවෙන සිදුවීම් කියලා.

6 වෙනිදා ඒ රැළියට අදාළ උසාවි නියෝගය ශ්‍රී ලංකා පොලිසියේ වුවමනාවට උසාවිය ලබාදුන්නා නම් 6 වෙනිදාට පෙරත් 6 වෙනිදාට පසුවත් ඊයෙත් අදත් හෙටත් මේ කොළඹ නගරය තුළ දකුණෙ පුරාම හැමතැනම උද්ඝෝෂණ මම දකිනවා, පෙළපාලි දකිනවා, රැළි දකිනවා, මිනිස්සු රැස්වෙනවා, මේ මොනවටවත් තාම නියෝග නෑ.

එකම රටක් එකම නීතියක් කියන ආණ්ඩුව මොකද්ද කරන්නෙ මේ විකාරයක් නේද ? එතකොට ඒ පැත්තෙ තහනම් කෙරුවට මේ පැත්තෙ තහනම් නැද්ද කියලා මං අහන්න කැමතියි ආණ්ඩුවෙන්" යනුවෙනුයි මනෝ ගනේෂන් මහතා සිද්ධිය පිළිබඳ කරුණු දක්වමින් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

උතුරේ සහ නැගෙනහිර දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවල මූලිකත්වයෙන් සහ විශාල ජන සහභාගීත්වයක් ද සමගින් ඉහත කී විරෝධතා පාගමන පැවැත්වුණේ උතුරු - නැගෙනහිර ජනතාවගේ ගැටළු සඳහා දේශපාලන විසඳුමක් ලබාදීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, කොවිඩ් මෘතදේහ භූමදානය සඳහා අවසර ලබාදීම, වතුකරයේ ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීම වැනි ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

මෙම විරෝධතා පාගමනට සහභාගී වීම හේතුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතාගේ විශේෂ ආරක්ෂාව ඉවත් කිරීමට ද මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා කටයුතු කර තිබිණි.

(LNW)