Friday, August 22, 2025
Follow Us
අගමැතිගේ ප්‍රකාශය ගැසට් කරන්නැයි මරික්කාර් ඉල්ලයි

කොවිඩ් මරණ භූමදානය කිරීම සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ලබන 22වැනි දිනට පෙර ගැසට් නිවේදනයක් මගින් නීත්‍යානුකූල කරන ලෙසට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

අද (11) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ජලයෙන් කොවිඩ් වෛසරය පැතිරෙන්නේ නැතැයි කොවිඩ් භාර රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී පුල්ලේ මහත්මිය ප්‍රකාශ කළ බවත්, එලෙස ජලයෙත් පැතිරෙන්නේ නොමැති නම් භූදානයට අවසර නොදෙන්නේ මන්දැයි මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.

තමන් එම ප්‍රශ්නය විමසූ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා සිය අසුනෙන් නැගිට “භූමිදානයට අවසර දෙනවා” යනුවෙන් ප්‍රකාශ කළ බවද මරික්කාර් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේදි සිහිපත් කළේය.

අග්‍රාමාත්‍යවරයා මෙලෙස පිළිතුරක් ලබාදුන්නේ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පැමිණීම සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ගැටළුවලට මුහුණදීමට සිදුවන නිසා බැවින් ද මරික්කාර් මන්ත්‍රීවරයා විසින් වැඩිදුරටත් පැවසීය.

(Aruna)