රට මුහුණ පා ඇති විදේශ සංචිත පිළිබඳ ගැටළුව විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගත යුතු බව සමගි ජන බලවේගය පවසනවා. එහි භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගයෙන් කටයුතු කළේ නම්, ඉන්දියාවෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 400 ක ණය මුදල පියවීමට ද තවත් කල් ලබාගැනීමට අවස්ථාව තිබූ බවයි. වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට සංචිත දිනෙන් දින පහළ යමින් ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.
රට මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින බව පිළිගෙන ආණ්ඩුව කටයුතු කළ යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටියේ දකුණු ආසියාතික කලාපීය සහයෝගීතා සංවිධානයේ එනම් සාර්ක් සංවිධානයේ සාමාජික රටවල් අතර පවත්නා විනිමය හුවමාරු පහසුකම යටතේ ඉන්දියානු සංචිත බැංකුවෙන් ලබා ගත් විනිමය හුවමාරු පහසුකම නිසි කලට පියවා ඇති බවයි. ඒ, අදාළ විනිමය හුවමාරු පහසුකම යටතේ ලබා ගත් මුදල් කලින් පියවන ලෙස ඉන්දියාව ඉල්ලීමක් කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.
(Neth)