Thursday, August 21, 2025
Follow Us
2015 වැඩේමයි ආයෙත් වෙන්නේ. ආණ්ඩුවේ පිරිසකුත් විපක්ෂයේ කුමන්ත්‍රණයට එකතුවෙලා - ප්‍රසන්න

2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පෙරළීම සඳහා සිදුවුණු ආකාරයේම කුමන්ත්‍රණයක් මේ වනවිට නැවතත් සිදුවෙමින් පවතින බවත් ආණ්ඩුවේම පිරිසක් ද මේ කුමන්ත්‍රණයට එකතු වී සිටින බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

"අද රට තුල ආණ්ඩුව විවේචනය කිරීමේ රැල්ලක් නිර්මාණය වෙමින් තිබෙනවා. විපක්ෂයට ඕනෑ මේක ආණ්ඩු විරෝධි රැල්ලක් කර ගන්න. අදාහනයද, භූමදානයද, ධම්මික පැණිය, වරාය නැගෙනහිර ජැටිය සංචාරකයන් දිවයිනට ගෙන ඒම, පාසල් විවෘත කිරීම වගේ විවිධ විෂයන් සම්බන්ධයෙන් විපක්ෂය රට තුල බොරු වපුරනවා, ඒකට අපේ අයත් අහු වෙනවා.

මේවා ගැන ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය පැහැදිලි කලත් විපක්ෂය දිගටම බොරුව අරගෙන යනවා. සමහර වෙලාවට ආණ්ඩුවේ ප්‍රකාශයට වඩා මිනිස්සු විශ්වාස කරන්නේ මේ විපකෂයේ බොරුව. කනගාටුවට කරුන තමයි අපිට මේ ආණ්ඩුව ගන්න උදව් කරපු සමහර අයත් මේ බොරුව විශ්වාස කරන එක.

2015 දී සිද්ද වුනෙත් මේකමයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්න මේ විදිහටම බොරු මතවාද සමාජගත කළා. අපේම සමහර අයත් මේ කුමන්ත්‍රණයට අහු වුනා. ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විට විපක්ෂය ආරම්භ කර තිබෙනවා. ඊට බටහිර බලවේග වල සහයත් ලැබෙනවා. 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව තිබුණු කුමන්ත්‍රණයම තමයි අද මහින්ද ගෝඨාභය සුසංයෝගයෙන් සැදි මේ ආණ්ඩුවට එරෙහිව අළුත් වටයකින් ආරම්භ කරලා තියෙන්නේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ පෙරේදා (30) ගම්පහ - මිනුවන්ගොඩ විකල්ප මාර්ගයේ පාලම් තුනක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමේ උත්සවය අමතමිනි.

(LNW)