Tuesday, October 22, 2024
Follow Us
අනිද්දා වෙතින් සැර ප්‍රහාරයක් : රැල්ලට යන සජිත්ට රතු එළියක් !

මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රියත්වයක් තිබුණත්, එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගතව සිටින අනෙකුත් පක්ෂ අතර සජිත් ප්‍රේමදාස කෙරෙහි කැමැත්තක් නැති බව එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයන් කිහිපදෙනකු පැවසූ බව සතිඅන්ත "අනිද්දා" පුවත්පත වාර්තා කරයි.

එම පුවත්පතේ (21) දින නිකුත්කල කළාපයේ මුල් පුවත ලෙස මෙය වාර්තා කර ඇති අතර එය "එජා පෙරමුණේ පක්ෂ සජිත්ට අකමැතියි" යන ශීර්ෂයෙන් යුක්තය.

එම පුවතේ වැඩිදුරටත් මෙසේද සදහන් කර තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය , සමස්ථ ලංකා මුස්ලීම් කොංග්‍රසය , ජාතික හෙළ උරුමය , දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ , ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් නියෝජනය කරමින් රවුෆ් හකීම් , රිෂාඩ් බදියුදීන් , රාජිත සේනාරත්න , චම්පික රණවක , මනෝ ගනේෂන් , පී. දිගම්බරන් , වී. රාධක්‍රිෂ්ණන් ඇතුළු ප්‍රබල දේශපාලනඥයෝ කණ්ඩායමක් එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධානගතව සිටිති. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න නියෝජනය කරන එක්සත් වාමාංශික පෙරමුණ ඇතුළු තවත් පක්ෂ ගණනාවක් ද එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතව සිටි.

සජිත් විරෝධයේ මුල ජාතික ප්‍රශ්නය !

අනිද්දා සමග අදහස් දැක්වූ එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්ෂයක නායකයකු ප්‍රකාශ කළේ , එම පක්ෂ වල අකමැත්තට ප්‍රධාන හේතුවක් වන්නේ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස එජාප සාමාජිකයන් අතර ජනප්‍රිය වූවත් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳ අවබෝධයක් ඔහුට නැති නිසා වන බවයි.

සිවිල් සංවිධානත් විරුද්ධයි !

එක්සත් ජාතික පක්ෂය සමග එක් දේශපාලන පෙරමුණක කටයුතු නොකළත් , රාජපක්ෂ කඳවුරට එරෙහි ප්‍රතිපත්තියක සිටින දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන වලද සජිත් ප්‍රේමදාස පිළිබඳ කැමැත්තක් නැති බව සාකච්ඡා වලදී දැනගන්නට ලැබී ඇති බවද ඔහු කීය.

ජාතික ප්‍රශ්නය විසඳිය හැකි , පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ අවබෝධයක් ඇති , දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ කළ හැකි අන්දමේ දේශපාලන අවබෝධයක් තිබෙන පුද්ගලයකු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බව එම කණ්ඩායමේ එකඟතාව වී තිබෙන බව ඔහු පැවසීය.

අරලියගහ මන්දිරයේ සාකච්ඡාවෙන් සජිත් නැගිට ගිහින් !

ඉදිරි දේශපාලන සැලසුම් පිළිබඳව එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්ෂවල නායකයන් අතර ජූලි 9 වැනිදා අරලියගහ මන්දිරයේ දී සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව දැන්ම තීන්දු නොකර සිටීමට එකඟ වී ඇත.

ඒ වෙනුවට එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්ෂ වලින් සමන්විත නව සන්ධානය පිහිටුවමින් ජන රැළියක් අගෝස්තු මාසයේදී සංවිධානය කිරීමට එකඟ වී ඇත.

මේ සාකච්ඡාවට සහභාගී වී සිටි සජිත් ප්‍රේමදාස ඇමතිවරයා , කිසිදු අදහසක් පළ නොකර පසෙකට වී සිය ජංගම දුරකථනය ක්‍රියාත්මක කරමින් සිට ටික වේලාවකින් නැගිට ගිය බවද අනිද්දා වෙත වාර්තා වෙයි.

අනිද්දා ප්‍රහාරය තවදුරටත් !

එසේම අනිද්දා පුවත්පතේ මුල් පිටුවේ දෙවැනි පුවතද සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට අවාසිදායක ලෙස වාර්තා කර තිබේ.

එම පුවතේ සිරස්තලය " ටීඑන්ඒත් බෑ කියයි : චන්ද්‍රිකාත් නෑ " යනුවෙන් වන අතර එම පුවත මෙසේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ඇමති සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේ නම් ඔහුට තම පක්ෂයේ සහයෝගය හිමි නොවන බව දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස මහතාගේ හිතවතුන්ට දන්වා ඇත.

මංගල සමරවීර ,ආචාර්ය හර්ෂ ද සිල්වා හා ඉරාන් වික්‍රමරත්න යන සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතම ආධාරකරුවන් වෙත පෞද්ගලිකවම මේ බව දැනුම්දී ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ ඉහළ දේශපාලනඥයන් විසිනි.

 

බලය බෙදීම ගැන සජිත්ගේ නිශේධාත්මක ස්ථාවරය !

බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා නිශේධනීය අදහසක් දිගින් දිගටම දරන බවත් , එක් මධ්‍යම ආණ්ඩුවක පාලනයක් හා ඒ හරහා පළාත් වලට සම්පත් බෙදාදීම ප්‍රමාණවත් බැවින් පළාත් සභා වැනි ව්‍යුහයක් අවශ්‍ය නොවන්නේ යැයි ඔහු අදහස් කරන බවත් , ඒ නිසා දෙමළ ජනතාවට ඔහු සමග කළ හැකි දේශපාලනයක් නැති බවත් මේ දෙමළ සන්ධාන දේශපාලඥයන් සජිත් ප්‍රේමදාස මහතාගේ හිතවතුන් ට දන්වා තිබේ.

 

චන්ද්‍රකාත් විරුද්ධයි !

මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තමාගේ සහයට සිටින බව පෙන්වන්නට සජිත් ප්‍රේමදාස මහතා විවිධ උපක්‍රම යොදතත් , චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සිටින්නේද සජිත් ප්‍රේමදාස මහතා ට සපුරා විරුද්ධ ස්ථාවරයක බව අනිද්දා වෙත වාර්තා වෙයි.

ඉන්දීය රජයේ මූල්‍ය ආධාරයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද උදාගමක් විවෘත කිරීමට හා සජිත් ප්‍රේමදාස මහතාගේ අමාත්‍යාංශය යටතේ කුමාරතුංග මහත්මියගේ සංකල්පයක් මත ඉදිකෙරෙන නිවාස යෝජනා ක්‍රමයක උත්සව වලට සහභාගී වුවත් , ඉන් ඔබ්බට සජිත් ප්‍රේමදාස මහතාට ඇගේ සහයක් නොමැති බව තවදුරටත් වාර්තා වෙයි.

එහෙත් මේ හමුවීම සූක්ෂම ලෙස යොදාගන්නා සජිත් ප්‍රේමදාස මහතා ඊට අදාල ජායාරූප හා ප්‍රවෘත්ති වලට වැඩි ඉඩක් දෙමින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද තමා සමග සිටින බවට පෙන්වීමට උත්සාහ කරමින් සිටියි.

 

සජිත් ඔයා හැදෙනවා නම් කාලය තවත් තියනවා !

අනිද්දා පුවත්පත ආරම්භ කිරීමට මුල් වූයේ 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට මැදිහත් වූ සිවිල් සමාජ ක්‍රියාකාරින්ය.

මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාස සම්බන්ධව එම පාර්ශවය දරණ අදහසද මීට නොදෙවෙනි වනු ඇති බවත් වහාම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිය පසුගාමී දේශපාලන අදහස් මුළුමනින්ම වෙනස්කරන ස්ථාවරයක් වෙත නොගියහොත් ඔහු සතු මේ සමාජ අවධානය යටයනු ස්ථිර බවය.

ජාතික ගැටලුවේ සිට මරණ දඩුවම දක්වා මෙන්ම ආර්ථික දර්ශනය අතින්ද සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා දරන්නේ ඉතා පසුගාමි අදහස් වන අතර මානව හිමිකම් ක්‍රියාකාරීන්, ඇතුළු සක්‍රීය පුරවැසි සමාජය ඊට හාත්පසින් වෙනස් ස්ථාවරයක සිටින බවත් ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ වුවත් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට මේ පසුගාමී අදහස් වෙනස් කරගෙන ශිෂ්ට සමාජය අනුමත කරන දියුණු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සමග සම්මුතියක් ඇතිකර ගැනීම තුළ පමණක් ඔහුට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් උත්සාහයක් හෝ දැරීමට හැකි බවත් දේශපාලන විචාරකයන්ගේ අවධාරණය වී තිබේ.

(News Tube)