Friday, January 02, 2026
Follow Us
කොවිඩ් ආසාදිත මන්ත්‍රී වසන්ත යාපාගේ PCR ප්‍රතිඵලය ලැබී ඇත්තේ දින 8ක් ප්‍රමාද වෙලා !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත්තේ PCR පරීක්ෂණයට සාම්පල් ලබාගෙන දින 8කට පසුව බව වාර්තා වේ.

වසන්ත යාපා බණ්ඩාර මහතා ජනවාරි 16 වනදා ස්වේච්ඡාවෙන්ම කඩුගන්නාව දිසා රෝහලේදී PCR පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර රෝග ලක්ෂණ කිසිවක් හෝ වෙනත් අසනීප තත්වයක් නොවුණ ද ඒ මහතා දින කිහිපයක් නිවසටම වී ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිට ඇත.

එහෙත් ප්‍රතිඵල ප්‍රමාද බැවින් සෞඛ්‍ය අංශ කෙරෙන් විමසීමේදී ඒ මහතාට පිළිතුරු ලැබී ඇත්තේ PCR ප්‍රතිඵල ලැබීමට දින කිහිපයක් ගතවිය හැකි බවත් සාමාන්‍යයෙන් කොවිඩ් ආසාදිතයකු වී ඇත්නම් අනිවාර්යයෙන්ම දුරකථනය ඔස්සේ වහාම දැනුම් දෙන බවත්ය.

එවැන්නක් සිදු නොවුණු නිසා ඒ මහතා සිය සුපුරුදු රාජකාරි කටයුතුවල නිරත වී ඇති අතර දින දෙකක් පාර්ලිමේන්තු රැස්වීම් වලටද, "වැඩ සමග යළි ගමට" ග්‍රාමීය රැස්වීම් ගණනාවකටද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙ මාධ්‍ය හමුවලටද, පෞද්ගලික රූපවාහිනි නාළිකාවක දේශපාලන වැඩසටහනකටද සහභාගී වී ඇත.

මේ අතර ජනවාරි 24 වනදා මන්ත්‍රීවරයාව අමතමින් කඩුගන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත්තේ මන්ත්‍රීවරයාව කොවිඩ් ආසාදිතයකු වශයෙන් තහවුරු වී ඇති බවයි.

ඒ අනුව එදිනම රාත්‍රියේ යළි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් ද ඒ මහතාට සිදුකර ඇති අතර එහි ප්‍රතිඵලය නෙගටිව් වී ඇති බව සඳහන්. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් ආසාදිතයින් හඳුනාගත හැක්කේ ආසාදනයට ලක්ව මුල් දින 4 - 7 අතර කාලසීමාවේදී පමණි.

කෙසේවෙතත් මෙරට ඇතැම් ස්ථානවල PCR පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාද වීම සහ ඉන් පසුව උද්ගත වන ගැටළුකාරී තත්වයන් සම්බන්ධයෙන් මෙයත් එක් උදාහරණයකි. සාමාන්‍යයෙන් PCR ප්‍රතිඵල පැය 24ක් තුළ ලැබිය යුතු අතර පැය 48කටත් පසුව ලැබෙන ප්‍රතිඵල ප්‍රමාද වූ ප්‍රතිඵල වශයෙන් සැලකේ. එවන් ප්‍රමාද වූ ප්‍රතිඵල සිදුවීම් වලදී ආසාදිතයාගේ ආශ්‍රිතයින් සෙවීමේදී ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුවේ.

(LNW)