Friday, April 19, 2024
Follow Us
69 ලක්ෂයේ ජයග්‍රහණය අද භුක්ති විඳින්නේ සීනි, පොල්තෙල් බදු වංචාකරන ධනකුවේරයින් - සජිත්

වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා විශාල බලාපොරොත්තු ඇතිව ඡන්දය දුන් ජනතාවගේම බඩට ගසමින් රජයට සම්බන්ධ ජාවාරම්කාර ධනකුවේරයින් පිරිසක් අද වනවිට බිලියන ගණනින් මුදල් උපයමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

"විශේෂයෙන්ම ලොකු බලාපොරොත්තු තියාගෙන තමයි ජනතාව ජනාධිපතිවරණයෙනුත් මහමැතිවරණයෙනුත් මේ අයට සුවිශාල ජයග්‍රහණ අරගෙන දුන්නේ. නමුත් ඒ ජයග්‍රහණයේ ප්‍රතිඵල අද මේ රටේ පොදු ජනතාවට ලැබිලා තියෙනවාද ? එක දෙයක් බොහොම පැහැදිලිව පේනවා, මේ ජයග්‍රහණයේ ප්‍රතිඵල ලොකු ලොකු ඇත්තෝ නම් භුක්ති විඳිනවා.

දැන් තමුන්නාන්සෙලා දැනගන්නට ඕනෙ මේ වර්තමාන රජය ස්ථාවර, අඩු මිලකට සීනි ලබාදෙනවයි කියලා මේ රටේ දැවැන්ත වංචාවක් ක්‍රියාත්මක කළා. සීනි බදු වංචාව ! ඒ සීනි බදු වංචාවේ ප්‍රතිඵලය රුපියල් මිලියන 10,000ක්. බිලියන 10ක්. හරියට ගණන් හදලා බැලුවොත් මිත්‍රවරුනි, අපේ රටට කොරෝනා එන්නත් ලබාගන්නට යන ගාණ. ඒ ගාණම රජයට සම්බන්ධ තැරැව්කාරයින් ගහලා තියෙනවා. එසේ මෙසේ ගාණක් නෙවෙයි.

ඒ විතරක් නෙවෙයි පොල්තෙල් වලිනුත් ගහලා තියෙනවා. එතකොට මේ ගහන්නෙ කාටද ? ගහන්නෙ පොදු ජනතාවගේ බඩට. පොදු ජනතාවගේ බඩට ගහන ගැහිල්ලේ ප්‍රතිඵලය අර ධනකුවේරයින් භුක්ති විඳිනවා.

අද වෙනකල් කොරෝනා මර්දනයට අවශ්‍ය එන්නත ගෙන්වන්න රජය අපොහොසත් වෙලා තියෙනවා. ඒ නිසා මිත්‍රවරුනි, අපේ රටට අවශ්‍ය මනුස්සකම රජයන මනුස්සකම හඳුන්න රටේ ජනතාව ගැන හදවතේ සංවේදීත්වයක් තියෙන හිතක් පපුවක් තියෙන රජයක්. ජනතාවගේ දුකෙන් කම්පාවට පත්වෙන, ජනතාවගේ දුක නිවාළන රජයක්. එවැනි වෙනසක් උදෙසා මේ රටේ ජනතාව හැමෝම එකතු වෙන්නට ඕනෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (17) බුත්තල, වගුරුවෙල ප්‍රදේශයේ පැවති "විපක්ෂ නායක ජංගම සේවය" වැඩසටහන අමතමිනි.

(LNW)