කොවිඩ් තර්ජනය නිසා අඩුම තරමින් සති දෙකක් හෝ තමන්ට නිවාඩු ලබා දී පාර්ලිමේන්තුව වසා දමන්නැයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඉල්ලා සිටී. එසේ නොවුණොත් පාර්ලිමේන්තුවෙන් කොවිඩ් පොකුරක් ඇතිවීමේ අවදානමක් මතුවනු ඇති බවද කාර්ය මණ්ඩලය පවසති.
මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නවදෙනෙකු පමණ මේ වන විටත් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී ඇති නිසා තමන්ද දැඩි අවදානමකට ලක්ව සිටින බව පවසන කාර්ය මණ්ඩලය මේ පිළිබඳ කථානායකවරයාද දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයි කීය. පසුගිය රැස්වීම් සතියේ දිනක පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ ඇති අගමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා එදින දිවා ආහාරය ලබාගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ භෝජනාගාරයෙනි. එම භෝජනාගාරයෙන් ආහාර ලබා ගත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ ලේකම්වරයාද කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබේ. මෙම භෝජනාගාරයේ සේවය කරන වේටර්වරියකට කොවිඩ් වයිරසය ආසාදිතවී ඇති බව පසුගියදා සිදු කළ පී.සී.ආර්. පරික්ෂණයෙන් තහවුරුවී ඇත. ඒ අනුව මෙම භෝජනාගාරයෙන් ආහාර පානාදිය ලබා ගත් පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන් දැඩි අවදානමකට ලක්ව ඇත. මන්ත්‍රීවරුන් තිස් පස් දෙනෙක් පමණ සහ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක්ද මේ වන විට නිරෝධායනයටද යොමුකර ඇත. පසුගිය බදාදා සහ සිකුරාදා කාර්ය මණ්ඩලයේ අටසියයකගේ පමණ පී.සී.ආර්. පරික්ෂණ සිදු කරන ලදී. ඉහත වේටර්වරියද ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත්තේ මෙම පී.සී.ආර්. පරික්ෂණයෙනි. එම පරික්ෂණ ප්‍රතිපල අනුව කාර්ය මණ්ඩලයේ තවත් හය දෙනෙක් පමණ ආසාදිතයන් බවට තහවුරුවී ඇතැයි තමන්ට තොරතුරු ලැබී ඇති බවද, ලැබීමට නියමිත ප්‍රතිපල මත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද කාර්ය මණ්ඩලය පවසති. එවන් තර්ජනයක් හමුවේ මෙම සතියේ පාර්ලිමේන්තුවද රැස්වීමට නියමිතය. මේ නිසා අවදානම් පරිසරයක තමන්ට සේවය කිරීමට සිදුව ඇතැයි පවසන කාර්ය මණ්ඩලය වඩාත් උචිත වන්නේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සති දෙකක පමණ කාලයක් නිවාඩු ලබා දීම යැයිද කීය.
(Aruna)