Thursday, August 21, 2025
Follow Us
රන්ජන් අමාරුවෙ වැටුනේ අනුන්ගෙ කොන්ත්‍රාත් කරන්න ගිහින්, මගේ නඩු දෙක ඉල්ලා අස්කර ගන්නවා - මහින්දානන්ද

බරපතල වැඩ සහිත වසර 04 ක සිරදඬුවම් විඳිමින් සිටින රන්ජන් රාමනායක මහතාට අනුකම්පා කරන බවත්, ඒ අනුව ඔහුට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ තමන් විසින් ගොනුකර ඇති නඩු දෙකම ඉල්ලා අස්කර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා.

රන්ජන් රාමනායක මහතාද නියෝජනය කළ යහපාලන ආණ්ඩුව තමන් ඇතුළු දේශපාලනඥයන් බොහෝ දෙනෙකුගෙන් පළිගැනීම් සිදු කළද තමන් ඒ තත්වයට නොවැටෙන බවත්, ඒ අනුව නඩු දෙක ඉල්ලා අස්කර ගැනීමට තීරණය කළ බවත් ඇමතිවරයා පවසයි. මේ වනවිට රන්ජන් රාමනායක මහතා නිරෝධායනය වෙමින් සිටින බැවින් ඔහුට අධිකරණය වෙත ඉදිරිපත් වීමේ අපහසුතාවයක් බවතින බවත්, ඒ අනුව අදාල නිරෝධායන කාලසීමාව සම්පූර්ණ වූ වහාම අධිකරණයට ගොස් අදාල නඩු දෙකම ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන බවත් අළුත්ගමගේ මහතා පවසනවා.

අධිකරණය සහ විනිශ්චයකාරවරුන් විවේචනය කිරීම අධිකරණයට සිදුකළ බරපතල වැරැද්දක් බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ එම වැරැද්දට රන්ජන් රාමනායක මහතා අද දඬුවම් විඳිමින් සිටින බවයි. කෙසේ නමුත් මෙම වැරැද්ද ඔහුගේ අවශ්‍යතාවයට සිදුකළ එකක් ලෙස සැලකිය නොහැකි බවත් අනුන්ගේ කොන්ත්‍රාත් ඉටු කිරීමට ගොස් අද ඔහු අමාරුවේ වැටී ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් පවසනවා.

(LNW)