Thursday, August 21, 2025
Follow Us
මනුෂ්‍යත්වයේ නාමයෙන් රටවිරුවන් ලංකාවට ගෙන්වන්න. ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න - සජිත්

කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් විදෙස්‍ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ව මනුෂ්‍යත්වයේ නාමයෙන් කරුණාකර කඩිනමින් මෙරටට ගෙන්වා ගන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

"වර්තමාන රජයට අමතක වෙලා තිබෙනවා පහුගිය ජනාධිපතිවරණයේදී ගුවන් යානා වෙන් කරගෙන අපේ රටට ඇවිල්ලා වර්තමාන රජය බිහි කරන්නට විදේශගත ශ්‍රමිකයින් ඒ ජනවරම ලබාදුන්නු ආකාරය. රජය කරලා තිබෙන්නේ බලයට ඒම සඳහා රටවිරුවන් ඉතාමත්ම පහත් ආකාරයට පාවිච්චි කරපු එක පමණයි.

විදෙස්ගත ශ්‍රමිකයින් ඒ රටවල්වල අද හාමතේ ඉන්නෙ. ඉන්න තැනක් නෑ. මහපාරවල් වල ළතැවෙනවා.

මම රජයෙන් ඉල්ලීමක් කරනවා, දෙයියන්ගෙ නාමෙට මේ මිනිස්සුන්ට සලකන්න. රටවිරුවාව රැකබලා ගන්න. රටවිරුවාගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් කටයුතු කරන්න. මර නින්දට ගිහිල්ලා තියෙන තානාපති කාර්යාල ටික අවදි කරවන්න. රටවිරුවෝ කියන්නෙ ලොකු ලොකු පවුල්වල පුද්ගලයෝ නෙවෙයි. නාගරික ගම්බද ප්‍රදේශවල ඒ අහිංසක පවුල්වල අම්මලා ඉන්නෙ, තාත්තලා ඉන්නෙ, සහෝදර සහෝදරියො ඉන්නෙ. මං අහන්න කැමතියි වර්තමාන රජයෙන්, මනුස්සකමක් නැද්ද ඔබලාට ? හිතක් පපුවක් නැද්ද ? මනුෂ්‍යත්වයේ නාමයෙන් කරුණාකරලා මේ අහිංසක මිනිස්සු ටික ලංකාවට ගෙන්වා ගන්න.

සමගි ජන බලවේගයේ අපි මේ රටේ විදෙස්ගත ශ්‍රමිකයින් ආරක්ෂා කිරීම සඳහා ඒ අයගේ සුබසාධනය වෙනුවෙන් අපි නිරතුරුවම පෙනී සිටිනවා පමණක් නෙවෙයි ඒ අයගේ මානව අයිතිවාසිකම්, ජීවත් වීමේ අයිතිය සුරක්ෂා කිරීම සඳහා හැම මොහොතකදීම අරගල කරන්නට අපි සූදානම්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ රටවිරුවන් සියලු දෙනා මෙරටට ගෙන්වා දෙන්නැයි රජයට බලකරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට ඊයේ (07) පැවැත්වූ විරෝධතාවයට එක්වෙමිනි.

(LNW)