Wednesday, May 01, 2024
Follow Us
මනුස්සකම පෙරදැරිව අධිෂ්ඨානශීලීව 2021 ජය ගනිමු ! - විපක්ෂ නායක සජිත්ගේ සුබපැතුම

කොරෝනා ව්‍යසනය පරාජය කිරීම සඳහා අධිෂ්ඨානශීලීව නැඟී සිටීමට සියලු ශ්‍රී ලාංකේය ආදරණීය ජනතාවට ශක්තියත් ධෛර්යයත් ලැබේවායි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නව වසර සඳහා ඒ මහතා විසින් නිකුත් කළ සුබපැතුම් පණිවිඩය පහතින් දැක්වේ.

******************************************

අධිෂ්ඨානශීලීව නව වසරට පා තබමු !

අප නව වසරට පිවිසෙන්නේ මෑත කාලීන ලෝකය මුහුණ දුන් බරපතලම ව්‍යසනයට තවමත් නිෂ්චිත විසදුමක් නොමැති පසුබිමක්‌ තුලය. කොරෝනා ව්‍යසනය අබියස මුලුමහත් ලෝකයම පෙර නොවූ විරූ අරාජිකත්වයකට වැටී සිටින අතර සෞඛ්‍යමය, ආර්ථිකමය, දේශපාලනිකමය සහ සමාජමය සංකීර්ණතා අබියස අවිනිශ්චිත දොරකඩක හිදිමින් නව වසරට පාතබා සිටී.

එහෙත් මානව සංහතියේ මේ දක්වා වූ පරිනාමය සිදු වූයේම අප්‍රමාණ අභියෝග හමුවේ නොසැලී ආත්ම විශ්වාසය සහ නොපසුබට ධෛර්යය පරම විශ්වාසය බවට පත්කර ගත් ඉදිරිගාමී මිනිසුන් නිසා බව නොරහසකි.

ලබන්නාවූ නව වසරේ ප්‍රමුඛතම අභියෝගය වන්නේ කොරෝනා නැමැති ලෝක ව්‍යසනය පරාජය කිරීමය.

මේ අභියෝගය ජය ගැන්මට ජාති, ආගම්, කුල මල පමණක් නොව රටවල් ලෙසද බෙදී තනිවීමෙන් කළ නොහැකි ය. ඒ වෙනුවට මුලුමහත් ලෝකයම පෙර නොවූවිරූ සංහිඳියාවකින් මෙන්ම සහයෝගිතාවයකින් එකට බැදිය යුතුය. "හරිත නව ගිවිසුම" ඊට ඇති සාධනීයම විසදුමය.

රටක් ලෙස අපේ මාතෘභූමිය පවා බරපතල අර්බුද රැසකට මුහුණ දී සිටී.එක් අතකින් කොරෝනා ව්‍යසනය මෙන්ම තවත් අතකින් පටු දේශපාලන අරමුණු හේතුකොටගෙන ජනතාව දැඩි ව්‍යාකූලත්වයකට පත්ව සිටී.

ලබන්නාවූ නව වසර අධිෂ්ඨානය, මානව දයාව, කැපවීම සහ උදාර අපේක්ෂාවන් පෙරදැරිව ජයගත යුතුව තිබේ. ඒ වෙනුවෙන් සකල ශ්‍රීලාංකේය ආදරණීය ඔබට ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කරමි.

(LNW)