Wednesday, May 01, 2024
Follow Us
දෙමළ සන්ධානයේ යාපනය සහ නල්ලූර් බලය බිඳ වැටෙයි

යාපනය නල්ලූර් ප‍්‍රාදේශීය සභාවේ බලය ද දෙමළ ජාතික සන්ධානයෙන් ගිලිහී තිබෙනවා. ඒ, නල්ලූර් ප‍්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන හිටපු සභාපති ටී ත්‍යාගමූර්ති විසින් ලබන වසර සදහා ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්වීමත් සමගයි.

එම ප‍්‍රාදේශීය සභාවේ තනි පක්ෂයක් වෙත සියයට 50 ක බහුතර බලයක් නොමැති වීම හේතුවෙන් නව සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම ඊයේ පස්වරුවේ සිදු කර තිබෙනවා. ඒ, උතුරු පළාතේ පළාත් පාලන කොමසාරිස් ෆැටි‍්‍රක් නිරංජන්ගෙන් ප‍්‍රධානත්වයෙන්. එහිදී සභාපති තනතුර වෙනුවෙන් දෙමළ ජාතික මහජන පෙරමුණ නියෝජනය කළ පද්මනාදන් මයුරන් සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිත කුමාරස්වාමි මදුසුදන් ඉදිරිපත්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එහිදී සභිකයින් 10 දෙනෙකුගේ කැමැත්ත මත දෙමළ ජාතික මහජන පෙරමුණ නියෝජනය කරන පද්මනාදන් මයුරන් නල්ලූර් ප‍්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස තේරී පත්ව තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත කුමාරස්වාමි මදුසුදන්ට සභිකයින් 08 දෙනෙකුගේ සහය පමණයි.
මේ අතර, යාපනය මහනගර සභාවේ බලය ද දෙමළ ජාතික සන්ධානයෙන් ඊයේ ගිලිහී ගියා. ඒ, ලබන වසර සදහා ඉදිරිපත් කළ අයවැය දෙවන වරටත් පරාජය වීම හේතුවෙන්.

යාපනය මහනගර සභාව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් කිසිදු පක්ෂයකට සියයට 50 ක බලයක් නොමැති බැවින් අයවැය පරාජය වීමත් සමග, නව සභාපතිවරයෙකු පත්කරගැනීමේ ඡන්ද විමසීම ඊයේ පැවැත්වුණා. එහිදී ඡුන්ද 21 ක් හිමිකරගනිමින් දෙමළ ජාතික මහජන පෙරමුණේ නියෝජිත නීතීඥ විශ්වලිංගම් මණිවන්නන් යාපනය නව නගරාධිපතිවරයා ලෙස තේරී පත් වූ බවයි නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ. දෙමළ ජාතික සන්ධාන නියෝජිත හිටපු නගරාධිපති එම්මානුවෙල් ආනෝල්ඞ්ට එහිදී හිමිව ඇත්තේ ඡන්ද 20 ක් පමණයි.

(Neth)