Wednesday, August 20, 2025
Follow Us
ආණ්ඩුව දාලා අපි යන්නෙත් නැහැ - SLFP දියවෙන්න දෙන්නෙත් නැහැ

''මේ තිබෙන්නේ අපි පත්කළ ආණ්ඩුව. ඒ නිසා අපේ ප්‍රශ්න ආණ්ඩුව තුළ විසඳා ගත යුතුයි. ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන සාකච්ජාවක් වී නැහැ'' යනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේ ඊයේ (30) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේවෙතත් ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියවීමට ඉඩහැරීමට සූදානම් නැති බවද හෙතෙම කියාසිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විනය ක්‍රියාමාර්ග ගන්නේ පක්ෂය විසින් ලබා දුන් උපදෙස් මත ක්‍රියා නොකළ අයට මිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වීම යන පදනමෙන් නොවන බවද මහ ලේකම්වරයා ප්‍රකාශ කරන ලදී.

ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස් වූ අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, හිටපු මහ ලේකම් දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් ඊට සහභාගී වී සිටියහ.

(LNW)