Wednesday, August 20, 2025
Follow Us
කතානායක කාර්යාලය වසා දමයි, පාර්ලිමේන්තුවේ කොවිඩ් අවදානම ඉහළට, 25 කට PCR

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරක්ෂක කටයුතු භාර උප පොලිස් පරීක්ෂකවරයාට සහ පොලිස් රියදුරෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට කතානායකවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ පිරිසක් මේ වනවිට නිරෝධායනය වෙමින් සිටී.

පාර්ලිමේන්තුවේ පිහිටි කතානායක කාර්යාලය මේ වනවිට වසාදමා ඇති අතර උප පොලිස් පරීක්ෂකවරයා ගමන් ගත් ස්ථාන කිහිපයක් හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ කොවිඩ් අවදානම ඉහළ ගොස් තිබෙනවා.

උප පොලිස් පරීක්ෂකවරයා පාර්ලිමේන්තු තැපැල් කාර්යාලයට ගොස් ඇති අතර මීට අමතරව ඔහු සෝපානයේ ගමන් කරද්දී විපක්ෂ නායක කාර්යාලය ඇතුළු පාර්ලිමේන්තුවේ අංශ කිහිපයක සේවය කරන සේවකයන්ද ඔහු සමග ගමන් කර තිබෙනවා. මේ නිසා ඔහුගේ ආශ්‍රිතයන් ලෙස හඳුනා ගත් 25 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.

කතානායකවරයා නිරෝධායනයේ සිටින බැවින් ඊයේ (30) පක්ෂ නායක රැස්වීම පවත්වා තිබෙන්නේද කාරක සභා නියෝජ්‍ය සභාපති අංගජන් රාමනාදන් මහතාගේ ප්‍රධානත්වයෙනි.

අයවැය විවාදයෙන් පසුව පළමු වරට ලබන 05 වැනිදා පාර්ලිමේන්තු රැස්වීම් නැවත ආරම්භ වීමට නියමිත වේ. පාර්ලිමේන්තු රැස්වීම් කල් දැමීමට මේ වනතෙක් තීරණය කර නොමැති අතර අද සිදු කරන PCR පරීක්ෂණවල ප්‍රතිඵල මත එය තීරණය වනු ඇත.

(LNW)