ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22) දින තම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ; වර්තමාන ආණ්ඩුව ඔවුන්ගේ පැරණි හා පැවති සුපුරුදු ක‍්‍රියාමාර්ග ඉතා හොඳින් නැවත ක‍්‍රියාවට නගමින් භාණ්ඩාගාරයට හිමිවිය යුතු අතිශය දැවැන්ත ධනස්කන්ධයක් තමන්ට හිතවාදී ව්‍යාපාරික චෞර වළල්ලකට උපයා ගැනීමට ඉඩ සලසමින් ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය:
වංචාව, දූෂණය, නැවත වටයකින් ඉදිරියට ගෙනෙමින් තිබෙනවා. රට බරපතළ ආර්ථික අර්බුදයක තිබියදී මේ තත්වයට යළි පණදීම විශේෂත්වයක්. රජයේ ආදායම අහිමි වෙමින් තිබෙනවා. 2020 වර්ෂය සඳහා ඇස්තමේන්තු කර තිබෙන ආණ්ඩුවේ මුළු ආදායම බිලියන 1555යි. නමුත් ණය සහ පොලී වාරිකය පමණක් බිලියන 1854ක් වැය වෙනවා. ඒ කියන්නේ රජයේ මුළු ආදායම ණය වාරික සහ පොලී වාරිකය ගෙවන්නවත් ප‍්‍රමාණවත් නැහැ. 2021 වසරේ තිබෙන්නේ ඊටත් වඩා භයානක තත්වයක්. ඇස්තමේන්තු කළ මුළු ආදායම බිලියන 1919යි. ණය වාරික සහ පොලිය ගෙවීමට බිලියන 2117ක් වියදම් වෙනවා. මෙයින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ මුළු ආදායම ණය සහ පොලී වාරික ගෙවීමට ප‍්‍රමාණවත් නැති බවයි. භාණ්ඩාගාරයේ ගිණුම මේ වනවිටත් බිලියන 541ක බැංකු අයිරාවක් තියෙන්නේ. මෙහි බර විවිධාකාරයෙන් ජනතාවට පැටවෙමින් තිබෙනවා. භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම, රටේ සම්පත් විකිණීම වැනි විවිධ ක්‍ෂේත‍්‍රවලින් බලපා තිබෙනවා.
ඒ අතර ආණ්ඩුව තමන්ට හිතවාදී ව්‍යාපාරික චෞර වළල්ලකට අතිශය ධනස්කන්ධයක් උපයා ගැනීමට ඉඩ සලසමින් තිබෙනවා. මෙවැනි ගණුදෙනු ගණනාවක් පිළිබඳව අයවැය විවාදයේදී මා කරුණු ඉදිරිපත් කළා. පුවත්පත් ගණනාවක ඒ පිළිබඳව ලිපි පළවී තිබෙනවා. ජූනි 26වැනිදා සීනිවලට රු. 50ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවූවා. ඔක්තෝබර් 13වැනිදා මේ බද්ද ශත 25 දක්වා අඩු කළා. පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා මේ බද්ද අඩුකිරීමට අනුරූපීව සුදු සීනිවල උපරිම සිල්ලර මිල රු. 85ක් සහ ආනයනකරු විකිණිය යුතු උපරිම තොග මිල රු. 80ක් හැටියට සඳහන් කළා. ඒ වනවිට රු. 135ට, 140ට තිබුණු සීනි රු. 85 දක්වා අඩුවිය යුතුව තිබුණා. නමුත් දැන් සිදුවිය යුතුව තිබෙන්නේ ආණ්ඩුවට බද්දත් නැහැ, ජනතාවට අඩු මිලට සීනිත් නැහැ. මේ වසර අවසන් වනවිට ආසන්න වශයෙන් සීනි මෙ.ටොන් ලක්‍ෂයක්වත් ආනයනය කරනවා. දළ වශයෙන් ගත්තොත් රු. කෝටි 1000ක බදු ආදායමක් අහිමි වෙනවා. කොවිඩ් වසංගතය සඳහා අවශ්‍ය වන එන්නත් මිලදී ගැනීමට ලෝක බැංකුවෙන් රු. කෝටි 1000ක (බිලියන 10) ණයක් ගන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා.
මේ පැත්තෙන් භාණ්ඩාගාරයට හිමි විය යුතුව හිබුණ තිබුණු රු. කෝටි 1000ක් තමන්ගේ චෞර ව්‍යපාපාරික වළල්ලකට අයථා ලෙස ඉපැයීමට ඉඩකඩ ලබා දෙනවා.
එයින් ප‍්‍රධාන ආයතනයක් තමයි විල්මා ආයතනය. මේ ආයතනය මේ වනවිටත් සීනි මෙ.ටොන් ලක්‍ෂයකට ආසන්න ප‍්‍රමාණයක් ආනයණය කර තිබෙනවා. ෂැංග‍්‍රිලා එකේ අයිතිකරු සජාන් මවුසූන් වියත්මගට විවිධ පහසුකම් සපයමින් ක‍්‍රියා කළ කෙනෙක්. විල්මා ආයතනය අයිතිකරු ඔහුයි. ඔහුගේ අතිරේක ලාභයට විශාල මුදලක් ලබා දෙමින් ජනතාවට සහන අහිමි කරනවා. සීනි විතරක් නෙවෙයි, පහුගිය ජූනි මස 26වැනිදා ගැසට් නිවේදනයකින් පොල්තෙල් ආනයනය කිරීමේ බදු සම්බන්ධ ගැසට් එකකින් පොල්තෙල් ආනයනය කිරීමේ බද්ද කිලෝ එකකට රු. 150ක් නියම කළා. එම ගැසට් එක වෙනුවට ජූලි මාසේ 10වැනිදා කිලෝග‍්‍රෑම් එකකින් රු. 25ක් අඩුකර බද්දක් නියම කළා. දෙසැම්බර් මස 14වැනිදා නැවත ගැසට් නිවේදනයකින් බද්ද රු. 125ක් කළා. දෙසැම්බර් 14වැනිදා විල්මා ආයතනයෙන් පොල් තෙල් මෙ.ටොන් 7,000ක් කොළඹ වරායට ගෙනාවා. ඒ වෙනුවෙන් බදු ගෙව්වේ කිලෝ එකකට රු.100 බැගින්. මේ ආයතනයට කිලෝ ග‍්‍රෑම් එකකින් රු. 25ක අතිරේක බදු ලාභයක් උපයා ගන්න ඉඩ දීලා 15වැනිදා සිට නැවත රු.25කින් බද්ද වැඩිකළා. දෙසැම්බර් 14 වැනිදා තුන් දෙනෙක් පොල්තෙල් ආනයනය කළා. දෙන්නෙක් කුඩා පරිමාණයේ අය. විල්මා ආයතනය ප‍්‍රධාන ආනයනකරුවා හැටියට මෙ.ටොන්. 7,000ක් ආනයනය කර දළ වශයෙන් ගැසට් සෙල්ලම හරහා මිලියන 175ක අතිරේක ලාභයක් උපයා ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා.
කොළඹ වරාය නැගෙනහිර ජැටිය අදානි සමාගමට විකිණීම ගැන විශාල සාකච්ඡාවක් තියෙනවා. අදානි සමාගමේ ප‍්‍රධාන ව්‍යාපාර හවුල්කරුවෙක් විල්මා ආයතනය. වෙබ් අඩවිවල මේ සම්බන්ධතාවය අදානි-විල්මා යනුවෙන් පැහැදිලිව සඳහන් වෙනවා. අදානි සමාගමට වරාය දෙනවා කියන එක ඇතුළේ තියෙන්නේ විල්මා සමාගම. බොහෝ ව්‍යාපාරවල හවුල්කරුවා හැටියට අදානි-විල්මා ඒකාබද්ධ සමාගමක් හැටියට ක‍්‍රියා කරමින් තිබෙනවා. සීනි ආනයණ බදු, පොල්තෙල් ආනයණ බදු උස්,පහත් කිරීම හරහා වගේම කොළඹ වරාය පැවරීම හරහා ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා හවුල්කරුවෙක් කරගෙන තියෙන්නේ විල්මා ආයතනය. අපි ඉදිරියේදී මේ ගැන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. විශාල වශයෙන් වසංගතය පැතිරී යන වෙලාවක ඖෂධ ආනයණය කරන්න සල්ලි නැති රටක, ණය පොලී වාරික ගෙවන්න රජයේ ආදායම ප‍්‍රමාණවත් නැති වෙලාවක ආණ්ඩුව මහජනයාගේ ධනය තමන්ගේ චෞර වළල්ලට රිසි සේ කොල්ල කන්න ඉඩ සලසා දී තිබෙනවා.
පහුගිය බදාදා මහින්ද රාජපක්‍ෂ මහතා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළා. මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම එහි අරමුණයි. අපේ රටේ විදුලිය, ජලය, ඛනිජ තෙල් ඒකාධිකාරිය ප‍්‍රධාන වශයෙන්ම රජය සතු වෙනවා. අයි. ඕ.සී. සමාගමේ තෙල් බෙදාහැරීම රජයේ පංගුවට වඩා අඩුයි. රජය සතු සමාගම් තෙල් ජලය සහ විදුලිය ජනතාවට සපයමින් තිබෙනවා. මෙම ආයතන තුළ සිද්ධ වෙන මහා පරිමාණ වංචා-දූෂණ නිසා විශාල බරක් ජනතාව මත පැටවෙමින් තිබෙනවා. දූෂණයන් හරහා මිල ඉහළ යාම පාරිභෝගික ජනතාව මත පැටවෙමින් තිබීම පාළනය කළේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවයි.
මහජනතාවගේ පැත්තේ ඉඳන් කටයුතු කිරීම පැවරුණේ මේ කොමිෂන් සභාවට. එහෙම පාළනයක් නොතිබුණා නම් කියන කියන ගාණට මිලදී ගන්න ජනතාවට සිදුවෙනවා. එවැනි තත්වයන් වැලැක්වීමට මිලදී ගැනීම්, කොන්ත‍්‍රාත් ලබාදීම් වැනි කාර්යභාරයන් විමර්ශනය කරන්න මේ කොමිෂන් සභාවට පවරා තිබෙනවා. ඒ ක්‍ෂේත‍්‍රයන් පිළිබඳව අත්දැකීම් තිබෙන කණ්ඩායම් කොමිෂන් සභාවට පත්වී සිටියා. සභාපති වශයෙන් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිතුමා පත්කර සිටියා. මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති තුමා ඇතුළු පිරිසක් සාමාජිකයන් හැටියට හිටියා.
රවී කරුණානායක මුදල් ඇමැතිවරයාගේ කාලයේ 2019 වසරේ විශාල නියඟයක් එන බව පවසා කොළඹ වරාය සහ ගාලූ වරායේ මෙගාවොට් 200 බැගින් ජංගම බලාගාර ස්ථාපිත කරන්න යෝජනාවක් තිබුණා. ඒ වෙනුවෙන් කැබිනට් පත‍්‍රිකා 08ක් විතර දැම්මා. මේ වෙනුවෙන් ඒකකයක් රු. 26කට වඩා වැඩි පිරිවැයක් ගණනය කර තිබුණා. එය අත්හිටවූයේ මහජන උපයෝගීතා කොමිසමයි. මේ කොමිසම නොතිබුණා නම් අදත් අසීමිත බරක් විදුලි බිලට ගෙවන්න මහ ජනතාවට සිදුවෙනවා. විදුලි බළ මණ්ඩලයේ වංචා-දූෂණ යම් ප‍්‍රමාණයකට පාලනය කරන්න මේ කොමිසමට හැකි වුණා.
හැබැයි මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත‍්‍රිකාවෙන් ඒ කොමිසම අහෝසි කරන්න යෝජනා කරනවා. ඒ වෙනුවෙන් කැබිනට් පත‍්‍රිකාවේ ලියලා තියෙන්නේ ”විශේෂයෙන් ඉදිරි මාස 24ක කාලය තුළ ඇමරිකන් ඩොලර් මිලියන 2,000ක පමණ විදුලි ක්‍ෂේත‍්‍රයේ කරන ලබන ආයෝජන කඩිනම් කළ හැකිවනු ඇත” කියලා. මේ ගනුදෙනුවට මහජන උපයෝගීතා කොමිසම බාධාවක්. තමන්ගේ කොන්ත‍්‍රාත්කරුවන්ට බාධාකාරීව තිබෙන මේ කොමිසම අහෝසි කරන්න සූදානම් වෙනවා. හොරකමට, දූෂණයට බාධා කරන ආයතන අහෝසි කරනවා.
මේ සිදුවීම්වලින් පෙන්නුම් කරමින් තිබෙන්නේ 2015 පරාජයට පත් කරන ලද එම පාළනයේ වංචා-දූෂණ චෞර කණ්ඩායමට මහජනයාගේ දේපොළ රිසි සේ කොල්ලකා ගැනීමට ගෝඨාභය රාජපක්‍ෂ පාලනය ඉඩ දෙන බවයි. මහජනයාගේ ධනය රිසිසේ කොල්ලකා ගැනීම සඳහා කරන මේ සෙල්ලම නතර කළ යුතුයි.
අපි ඒ වෙනුවෙන් ඉදිරියේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර පොල්තෙල් ආනයනයේදී විල්මා ආයතනය ලබාගෙන තිබෙන මිලියන 175ක අතිරික්ත ලාභය ලබාගන්න රේගු දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. දූෂණයට එරෙහි නිලධාරීන් ඒ වෙනුවෙන් ක‍්‍රියා කරයි කියලා අපි විශ්වාස කරනවා. ආණ්ඩුවේ චෞරයන්ට එවැනි ලාභ ලබාගන්න තිබෙන ඉඩකඩ අහෝසි කළ යුතුයි කියලා අපි රේගු නිලධාරීන්ට යෝජනා කරනවා.
(Lanka Leads)