Wednesday, August 20, 2025
Follow Us
පළාත් සභා ඡන්ද දිනය තීන්දුව පක්ෂ නායකයන්ට – පළාත් සභාවල සමස්ත වියදමින් 70%ක්ම සපයන්නේ මධ්‍යම රජය

ඉදිරි පළාත් සභා මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම ආණ්ඩුවේ පක්ෂනායකයන්ට පැවරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇත.

පසුගියදා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සලකා බැලූ අවස්ථාවේ මෙම තීන්දුව ගනු ලැබීය. ඡන්දය පැවැත්විය යුතු දිනය හා මැතිවරණ ක්‍රමය ගැන කැබිනට් ඇමැතිවරුන් ගණනාවක් විවිධ අදහස් දක්වා තිබිණි. ඇතැමුන් නව කොට්ඨාස මිශ්‍ර ඡන්ද ක්‍රමයට කැමැත්ත දක්වා තිබිණි. තවත් පිරිසක් පැරණි මනාප ක්‍රමයට හෝ කඩිනමින් ඡන්දය පැවැත්විය යුතු යැයි යෝජනා කර ඇත. කොරෝනා වසංගතය මධ්‍යයේ ඡන්දය සාර්ථකව පැවැත්විය හැකිද යන්නත් ප්‍රශ්න කර තිබේ.

කෙසේ නමුත් රජය ලබන අප්‍රේල් මාසයට පෙර පළාත් සභා ඡන්ද පවත්වන බව කළින් ප්‍රකාශ කළේය. එසේ සිදුකරන්නේ නම් පැරණි මනාප ක්‍රමයට ඡන්දය පැවැත්විය හැකි වන ලෙස පළාත් සභා ඡන්ද පනතට සුළු සංශෝධනයක් එක්කළ යුතුය. එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැක.

කැබිනට්ටුවේ අවසන් තීරණය අනුව නත්තල් නිවාඩුවෙන් පසු රජයේ පක්ෂනායක රැස්වීමක් පවත්වා පළාත් සභා ඡන්දය පවත්වන දිනය හා මැතිවරණ ක්‍රමය ගැන අවසන් තීරණය ගන්නා බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය. දැනට වසර තුනක් පමණ තිස්සේ පළාත් සභා සඳහා මහජන නියෝජිතයන් පත්කර නැතත් පළාත් සභා ක්‍රියාත්මකය. ඒවායේ දැනට ඇත්තේ ආණ්ඩුකාරවරැන් හා නිලධාරීන්ගේ පාලනයකි. පළාත් සභාවල සමස්ත වියදමින් 70%ක්ම සපයා ඇත්තේ මධ්‍යම රජය විසින් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

(Lanka Leads)