Wednesday, August 20, 2025
Follow Us
පාර්ලිමේන්තු හිටපු මහලේකම්වරුන්ට දීමනාවක් දෙන්න තීරණ

ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්‍ර ලේඛයක් උල්ලංඝනය කරමින් විශ්‍රාමික පාර්ලිමේන්තු මහ ලේකම්වරුන්ට රුපියල් විසිපන්දහසක (25,000) විශේෂ දීමනාවක් ලබාදීමට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශක කමිටුව තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මහ ලේකම් ධුරයන්ගෙන් විශ්‍රාම ගොස් සිටින එස්.එන්. සෙනෙවිරත්න, බී.එස්.බී. තිත්තවැල්ල, ප්‍රියානි වි​ජේසේකර සහ ධම්මික කිතුලේගොඩ යන අයට විශ්‍රාම වැටුපට අමතරව මාසිකව රුපියල් 25,000ක විශේෂ දීමනාවක් ලබාදීමට ඉහත උපදේශක කමිටුව අනුමත කර ඇත්තේ 2019 ජූලි 12 වැනිදා ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිකුත් කළ චක්‍රලේඛයක් පදනම් කර ගනිමිනි.

එහෙත් එකී චක්‍රලේඛයට අනුව රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාව පාර්ලිමේන්තුවේ විශ්‍රාමික මහලේකම්වරුන්ට ලබාදීමට ඇමැති මණ්ඩලයේ අනුමැතියක් ලැබී නැත. ඒ බව මෙම වසරේ (2020) ජනවාරි 7 වැනිදා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම්දී තිබේ.

ජනාධිපති ලේකම්වරයා​ විසින් එසේ උපදෙස් දී තිබියදී පසුගිය 3 වැනිදා පවත්වන ලද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උප​දේශක කමිටුවේ න්‍යාය පත්‍රයට මෙම දීමනාවද යෝජනාවක් ලෙස ඇතුළත් කර තිබේ. න්‍යාය පත්‍රයේ දක්වා තිබෙන්නේ ජනාධිපති ලේකම්වරයා විසින් 2018 මැයි මස 23 වැනිදා නිකුත් කළ ලිපියකට අනුව මෙම දීමනාව ලබාදෙන බවය.

කෙසේ වෙතත් විශ්‍රාමික මහ ලේකම්වරුන්ට මෙසේ වි​​ශේෂ මාසික දීමනාවක් අනුමත කරවා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිම්න්තුවේ කාර්ය මණ්ඩලයද දැඩි අප්‍රසාදය පළකරති. මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස කථානායකවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා සහ සභා නායකවරයා කටයුතු කරන අතර ඔවුන්ටද කරුණු වසන් කරමින් මෙම යෝජනාව මහ ලේකම්වරයා විසින් සම්මත කරගෙන ඇතැයි කාර්ය මණ්ඩලය පවසයි.

(Aruna)