Wednesday, August 20, 2025
Follow Us
අද රටේ ජාතික ආදායමෙන් සීයට 53ක්ම ඉහළම පෝසතුන්ට. දුප්පත්ම පිරිසට සීයට 4.5ක සොච්චමයි - සජිත්

අද වනවිට ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් 53%ක් වැනි ඉහළ ප්‍රමාණයක් භුක්ති විඳින්නේ රටේ ඉහළම ධනකුවේරයින් විසින් බවත් දූගී බවේ පහළම සිටින 20%ක ජනතාවට ලැබෙන්නේ ජාතික ආදායමෙන් 4.5%ක පමණ සොච්චම් ප්‍රතිශතයක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ අනුව කවුරුන් කුමක් කීවත් අද රට තුළ විශාල ඇති හැකි - නැති බැරි පරතරයක් නිර්මාණය වී තිබෙන බවයි ඒ මහතා සඳහන් කළේ.

"මිත්‍රවරුනි, අපේ රටට අවශ්‍යයි නව නූතන කාර්මික විප්ලවයක්. නව නූතන කාර්මික විප්ලවය හරහා අපේ රටේ ධන උත්පාදන චක්‍රය - Wealth creation cycle එක අපි තවදුරටත් ශක්තිමත් කරන්නට ඕනෙ.

ධනය උත්පාදනය වනවා වගේම ධනය සහ සම්පත් ජනතාව අතරේ සම සේ සාධාරණව බෙදීයන ක්‍රමවේදයක්, යාන්ත්‍රණයක් අපි බිහි කරන්නට ඕනෙ. අපි මේ කතා කරන මොහොතේත් රටේ ජාතික ආදායමෙන් 53%ක්ම භුක්ති විඳින්නේ අපේ රටේ ඉන්න උග්‍ර පෝසතුන්. ඔවුන් එහෙම භුක්ති විඳිනකොට දිළිඳුභාවයෙන් තැළිලා පොඩිවෙලා මිරිකිලා සිටින මේ රටේ දුප්පත්ම 20% භුක්ති විඳින්නේ ජාතික ආදායමෙන් 4.5%ක් වැනි සොච්චමයි.

කවුරු මොන දේ කතා කළත් පිළිගන්නට ඕනෙ අද අපේ රටේ ජන සමාජය තුළ විශාල ඇති හැකි - නැති බැරි පරතරයක් තිබෙනවා. මේ ඇති - නැති පරතරය දැනුම, බුද්ධිය, නව තාක්ෂණය, තොරතුරු මත පදනම් වුණු නව ආර්ථික සමාජීය විප්ලවයක් තුළින් නව කාර්මික විප්ලවයක් තුළින් අවම කරන්නට සමගි ජන බලවේගයේ අපි සූදානම්" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ පක්ෂ යාන්ත්‍රණය බලගැන්වීමේ රැස්වීම් මාලාවෙහි මාතර - දෙවිනුවර රැස්වීම අමතමිනි.

(LNW)