මහර බන්ධනාගාරයේ සිදුවීමට මූලික වශයෙන් හේතුවුණේ කොවිඩ් රෙගුලාසි කඩකරමින් වැලිකඩ බන්ධනාගාරයේ සිට සිරකරුවන් 120 දෙනෙක් මහරට එවීම හරහා එහි කොවිඩ් පොකුරක් නිර්මාණය වීම බවත් එසේ රෙගුලාසි කඩකරමින් වැලිකඩින් මහරට සිරකරුවන් එවා තිබුණේ වියත්මග සංවිධානයේ සාමාජිකයකු විසින් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
"විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, මේ බන්ධනාගාර ආඥා පනතක් තිබෙනවා 1877. ඒකෙ 66,68, 77 (4), 3 යන වගන්තිවලින් බන්ධනාගාරයක රඳවා සිටින අයට සලකන ආකාරය පිළිබඳව ඔවුන්ට ලබාදිය යුතු පහසුකම් පිළිබඳව බොහොම පැහැදිලිව තිබෙනවා. මේ ආඥා පනතේ වගන්ති රාශියක් පහුගිය දින කිහිපයේ සිද්ධිය තුළ උල්ලංඝනය කරලා තිබෙනවා.
දැන් මේ සභාවෙදි ප්‍රකාශ වුණා මේ මහර සිද්ධිය අදිසි හස්තයකින් ක්‍රියාත්මක කළායි කියලා. තවත් සමහරෙක් පුද්ගලිකවම හොයලා බලලා කිව්වා රිවස් කියන පෙත්තක් නිසා ලේ දකින්න ඕනාය කියන ආසාවෙන් මේක වුණායි කියලා. ඒ වගේම කිව්වා මේ ජාත්‍යන්තර වශයෙන් අපේ රට අපකීර්තියට පත්කරන ව්‍යායාමයක් කියලා.
හැබැයි බොහොම පැහැදිලි වෙලා තිබෙනවා මේ පරිපාලනයේ ලොකු අඩුපාඩුවක් වෙලා තිබෙනවා. ඒ රැඳවියන් ඉල්ලලා තිබෙන්නෙ වෙන මොනවත් නෙවෙයි PCR පරීක්ෂණ හරහා තමන්ගෙ කොවිඩ් තත්වය පරීක්ෂා කරගන්නට. කොවිඩ් රෙගුලාසි උල්ලංඝනය කරලා වැලිකඩින් මහරට රැඳවියන් 120ක් ගෙනියලා 183ක කොවිඩ් පොකුරක් නිර්මාණය වුණු එක ගැන මේ සභාව දැනුවත් කරලා නෑ. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි මේ රැඳවියන්ගේ සෞඛ්‍ය භාරව සිටින නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වියත්මගේ සාමාජිකයෙක්. ඔහු තමයි ඔය වැලිකඩින් මහරට රැඳවියන් ටික යවලා තිබෙන්නෙ. මේක දේශපාලනය කතාකිරීමක් නෙවෙයි, මේක තමයි සත්‍යය. ඒ නිසා තමයි මේ කොවිඩ් පොකුරක් නිර්මාණය වුණේ, ඒ පොකුර නිසා තමයි ඛේදවාචකය නිර්මාණය වුනේ.
එනිසා මම ස්තූතිවන්ත වෙනවා අලි සබ්‍රි මැතිතුමාට කමිටුවක් පත්කිරීම ගැන. මම ප්‍රාර්ථනා කරනවා ඒ කමිටුව ස්වාධීනව පරීක්ෂණය කරලා මේ සිදුවුණු ඛේදවාචකයේ සුලමුල හොයයි කියලා.
ඒ වගේම බොහොම පැහැදිලිවම කියන්නට ඕනෙ අපේ රට තුළ මිනීමැරුම් සංස්කෘතියක්, ඝාතන සංස්කෘතියක්, රාජ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කරන්නට කිසිසේත්ම ඉඩ ප්‍රස්තාවක් නෑ. නීතියේ ආධිපත්‍ය කියලා එකක් තිබෙනවා. ඒක අනුගමනය කරන්නට හැමෝම හැමවෙලාවෙම බැඳිලා සිටිනවා.
ඒ නිසා විශේෂයෙන්ම මම කියන්නට ඕනෙ ඔය රිවස් පෙත්ත කියලා මේ මුළු ජන සමාජයම නොමඟ යවන්නට මේ දරණ උත්සාහයන් අපි සහමුලින්ම ප්‍රතික්ෂෙප කරලා මේකෙ සත්‍යය හොයාගන්නට කටයුතු කරන්නට ඕනෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද (03) පාර්ලිමේන්තුවේදී මහර බන්ධනාගාරයේ ඛේදවාචකය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
(LNW)