අපි අපේ ආදරනීයන්ට, හිතවතුන්ට ආශීර්වාද කරන්නේ නිරෝගී ජීවිතයකට. සුවපත් දිවියකට. යමෙකුගේ සෞඛ්‍ය දුර්වල නම් ඔහු කොතරම් දේපලකට , කොතරම් බලයකට හිමිකම් කීවත් තේරුමක් නෑ. ඔහු සිතු පැතු දේ ලැබීමට වරමක් ඇත්තෙකු වූවත් තේරුමක් නෑ. අන්න ඒ නිසා තමයි කියන්නේ මිනිසෙකු සතු පරම ධනය, මිනිසෙකු ලබන පරම ලාභය , නිරෝගීමත් බව කියලා.
මේ වන විට වඩාත් දියුණු පිළිගැනීම වෙලා තියෙන්නෙත් රෝගී වූ විට ප්‍රතිකාර කිරීම නෙවෙයි. ඒ වෙනුවට රෝගී වීම වලක්වා ගැනීම.
ඒ අර්ථයෙන් නීරෝගී සෞඛ්‍යාරක්ෂිත ජීවිතයකට හිමිකම් කීම අනුලංඝනීය පුරවැසි අයිතිවාසිකමක් වනවා. රටේ පුරවැසියන් සෞඛ්‍යාරක්ෂිත සහ නිරෝගීමත්ව පවත්වා ගැනීම රාජ්‍යයක් සතු උල්ලංඝනය කළ නොහැකි වගකීමක් ද වනවා.
ගරු කතානායකතුමනි , සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධ විවාදයේ වැදගත්ම කොතරම්ද යන්න තේරුම් ගැනීමට ඒ හැඳින්වීම හොඳටම ප්‍රමාණවත්. නමුත් ඒ තේරුම් ගැනීමත් සමග 2021 වසර සඳහා අයවැය තුළ සෞඛ්‍ය අමාත්‍යංශය සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන සම්බන්ධව තෘප්තිමත් වෙන්න බෑ.
ඇත්ත වශයෙන්ම 2021 වියදම් වෙන් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන්කර ඇත්තේ දශම කිහිපයකින් ඉහල නැංවූ වියදමක්. 2019 වසරේ සෞඛ්‍ය සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම රුපියල් බිලියන 187ක්. 2021 වසරේ එය රුපියල් බිලියන 159.48ක් වුණා. නමුත් 2021 සඳහා වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 159.48ක්. ගෝලීය වසංගත තත්වයක් හමුවේ පවා 2019 වසරේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ට වෙන්කළ වියදම දරන්න ආණ්ඩුව කටයුතු කර නෑ.
නමුත් අපි සංසන්දනාත්මක ලෙස බැලුවොත් මහා මාර්ග සඳහා රුපියල් බිලියන 330ක් වෙන්කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. දෙදහස් 2020 දී මහා මාර්ග හදන්න ආණ්ඩුව වෙන්කරලා තිබුණේ රුපියල් බිලියන 244.8ක් පමණයි.
ගරු කතානායකතුමනි,
බැලු බැල්මට නම් පේන්න තියෙන්නේ ආණ්ඩුව පුරවැසි සෞඛ්‍ය, පුරවැසි නිරෝගීමත් භාවය වෙනුවට මහා මාර්ග වලට සංවේදීවී ඇති බවකුයි. පොදුජන පෙරමුණු ආණ්ඩුව රටේ මහජනතාවට වඩා මහා මාර්ග වලට ආදරය කරන බවකුයි.
මම කියන්නේ නෑ මහා මාර්ග සඳහා ප්‍රතිපාදන වැඩිකිරීම වැරදියි කියලා. රටක සංවර්ධනයකට යටිතල පහසුකම් දියුණු කිරීම අවශ්‍යයි. ඒ ගැන වාදයක් නෑ. නමුත් යටිතල පහසුකම් දියුණු කිරීම රටේ සංවර්ධනයට නියම ලෙස දායක කරගන්න නම් නිරෝගීමත් ජනතාවක් අවශ්‍යයි.
ජනතාවගේ නිරෝගී බව නොසලකා සිදුකරන සංවර්ධනයට කියන්න වෙන්නේ කොමිස් සංවර්ධනය කියලා. දැන් අපිට ආණ්ඩුවෙන් අහන්න වෙනවා ඒ ආණ්ඩුව කරන්න හදන සංවර්ධනය මොකක්ද කියලා.
සැබවින්ම යම් පාලනයක්, ආණ්ඩුවක් කොතරම් ජනතා හිතවාදීද නැද්ද යන්න තීරණය කරන හොඳ නිර්නායකයක් තමයි, ඒ ආණ්ඩුවේ සෞඛ්‍ය සම්බන්ධ ප්‍රතිපත්තිය.
අන්න ඒ නිසා මම 2000-2019 කාලය තුළ සෞඛ්‍ය සඳහා මුළු රාජ්‍ය වියදම දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස කොපමණද යන්න ලේඛන අංක 1 ලෙස සභාගත කරනවා.
මේවා ජනතාව දැනගන්න ඕන. ඒ වගේම මේ ගරු සභාවත් මේ දත්ත ගැන දැනගන්න ඕන. එතකොට කාට කාටත් තේරුම් ගන්න පුළුවන් තමන් ජනතාවගේ නිරෝගීමත් බව සම්බන්ධව කොතරම් සංවේදී වුනාද යන්න තේරුම් ගන්න. සැබෑ ජනතාවාදී පාලනයක් වෙනුවෙන් පුරවැසි සෞඛ්‍ය සම්බන්ධව වැඩිම අවධානයක් යොමුකළේ කවුද යන්න දැනගන්න.
ගරු කතානායකතුමනි,
ඒ වගේම මම සභාගත කරනවා තවත් ලේඛනයක්. ඒ අංක 2 ලේඛනය. එහි සඳහන් වන්නේ 2010 සිට 2021 දක්වා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇස්තමේන්තුගත මුළු වියදම රාජ්‍ය මුළු වියදමෙන් ප්‍රතිශතයක් ලෙස. එතන පෙන්වනවා, අපි 2016 දී වෙන්කළ ප්‍රමාණයවත් 2021 වසංගත තත්ත්වයක් තුලදී ආණ්ඩුව වෙන්කරලා නෑ කියවා. ඔන්න ආණ්ඩුව ජනතාවගේ නිරෝගීකම ගැන දක්වන සැලකිල්ල. ජනතාව මෙය පැහැදිලිවම තේරුම් ගන්න ඕන.
අපිට අපේ පාලන සමයේ ජනතාවගේ නිරෝගී පැවැත්ම වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සිදුකළ සේවාව ගැන ආඩම්බරයෙන් සිහිපත් කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම එහි ගෞරවය අපි රාජිත සේනාරත්න අමාත්‍යවරයාට ලබාදිය යුතුයි. ස්ටෙන්ස් සහ අක්ෂි කාච නොමිලේ ලබාදීම,
අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මුල අඩු කර විවිධ වෙළෙද නාම ඖෂධ 400 ක පමණ මිල අඩු කිරිමට පියවර ගත්තා. පිළිකා ඖෂධවල මිල සියයට 51 කින් අඩු කළා. ඔය වගේ බොහොම ගෞරවයෙන් සිහිපත් කල හැකි වැඩ රාශියක්, මම හිතන්නේ මැත ඉතිහාසයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශාලම වැඩ කටයුතු ප්‍රමාණය සිදුකලේ පසුගිය ආණ්ඩුව විසිනුයි.
ඒවා පහසුවෙන් කල වැඩ නෙවෙයි. ලෝකයේ බලගතුම මාෆියාවක් වවන ඖෂධ මාෆියාව සමඟ ගැටෙමිනුයි ඒ දේවල් කලේ. ඒ ජනතාව වෙනුවෙන්.
ගරු කතානායකතුමනි,
අපි පාර්ලිමේන්තුව ලෙස එක් එක් ක්ෂේත්‍ර වෙත ප්‍රතිපාදන වෙන්කරන්නේ, ප්‍රමුඛතාව දෙන්නේ අපි කවුරුත් ගෙදරින් ගෙනාව මුදල් නෙවෙයි මේවා ජනතාවගේ බදු මුදල්. එහෙමනම් ජනතාවගේ නිරෝගීකම ගැන මේ විදියට නොතකා හරින ආණ්ඩුවක්, ජනතාවාදී ආණ්ඩුවක් වීමට කොහෙත්ම සුදුසු නෑ. අපි ජනතාවට කියනවා පාලකයන්ගේ සුරංගනා කතා වලන් තවදුරටත් අන්ධ වෙන්න එපා. සංඛ්‍යා දත්ත මත තාර්කිකව හිතන්න. ඒ වගේම ජනතාවට කියන්න ඕන ඔබ පත්කළ පාලකයන් ඔබේ ජීවිත ගැන කොච්චර සැලකිලිමත්ද යන්න ගැන අවධානයෙන් ඉන්න කියලා.
ගරු කතානායකතුමනි,
සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂය පුරාවට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුණේ බෝවන රෝග සම්බන්ධව. ගෝලීය වසංගත තත්වය හමුවේ එය සාධාරණයි. නමුත් මම අවධානය යොමු කරනවා බෝ නොවන රෝග සම්බන්ධව. සෞඛ්‍ය අංශ සඳහන් කරන ආකාරයට කොවිඩ් වසංගතය හමුවේත් වැඩිම ජීවිත අවධානම තියෙන්නේ, නිධන්ගත රෝග ඇති, නැතිනම් මේ බෝ නොවන රෝග වලින් පෙළෙන ජනතාවටයි. අන්න ඒ නිසා බෝ නොවන රෝග සම්බන්ධව අඩු තක්සේරුවක් කරන්න බෑ.
ගරු කතානායකතුමනි,
සෞඛ්‍ය අංශ වාර්තා අනුව රටේ සිදුවන මරණ වලින් සියයට හැත්තෑවක් (70%) පමණ සිදුවන්නේ බෝ නොවන රෝග වලින්. මම ලේඛන අංක 3 ලෙස ඉතා වැදගත් ලේඛනයක් සභාගත කරනවා. ඒ තමයි, රජයේ රෝහල් වලින් වාර්තා වූ බෝ නොවන රෝග කිහිපයක රෝගීන් හා මරණ සංඛාව රෝග හේතු කාරකය අනුව. 1980 සිට 2019 දක්වා තීරණාත්මක වර්ෂ වල දත්ත එහි ඇතුළත් වෙනවා.
මෙහිදී බෝ නොවන රෝග වලට සම්බන්ධව ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධව මම මේ ගරු සභාවේ අවධානය යොමුකරවනවා. ඒ දුම්කොළ මධ්‍යසාර සහ දියවැඩියාව.
දුම්කොළ භාවිතය සම්බන්ධව මුලින්ම අවධානය යොමුකලොත්, අපේ රටේ ලක්ෂ 36ක් පමණ දුම්කොළ භාවිතා කරනවා. එයින් ලක්ෂ 16ක් පමණ සිගරට් සඳහා ඇබ්බැහිවී සිටිනවා. එයින් දුම්කොළ ආශ්‍රිත දුම්පානය හේතුවෙන් අහිමිවන ජීවිත ප්‍රමාණය අති විශාලයි. රෝගී වන ප්‍රමාණයත් අති විශාලයි. ඒ වගේම තමයි ඒ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යන වියදම.
සම්ප්‍රදායික තර්කයක් තියනවා, දුම්කොළ , ටුබැකෝ එකෙන් රජය ඉහල බද්දක් අය කිරීම නිසා ඒ වියදම් ප්‍රමාණය පියවෙනවා කියලා. නමුත් WHO ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ, රටවල් ඒ දුම්කොළ බදු හරහා ලබන ආදායමට වඩා වැඩි වියදමක් ප්‍රතිකාර සඳහා වියදම් කරන බවයි.
දුම්කොළ ආශ්‍රිත දුම් පානය නිසා හෘදයාබාධ සහ ස්වසන රෝග වගේම පිළිකා ඇති වෙනවා. මෙහිදී සිහිපත් කරන්න ඕන අපි 2003 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ ඇතිකරගත් සම්මුතිය. ඊට රටවල් 181ක් අත්සන් තැබුවා. අපේ රට , ලංකාව තමයි හතර වෙනියට සම්මුතියට අත්සන් කලේ. ඒ හරහා අපි රටක් ලෙස පෙන්නුවා දුම්කොළ භාවිතය ඈත් කරවන්න අපිට තිබූ කැපවීම සහ උනන්දුව. ඒ වගේම තමයි, ආනයන බාධක දැමුවා, ප්‍රවර්ධන කටයුතු තහනම් කළා, වෙළඳ ප්‍රචාරණ දැන්වීම් නැවැත්තුවා, අනුග්‍රහය ගැනීම නැවැත්තුවා.
නමුත් WHO පෙන්වන දේ තමයි අපි තවත් බදු ප්‍රමාණය වැඩි කරගන්න ඕන සහ මිල ඉහළ යවන්න අවශ්‍ය බව. එතකොට තමයි භාවිතය සීමා කරන්න පුළුවන්. අලුතෙන් පෙළඹෙන ප්‍රමාණය අඩු කරවන්න පුළුවන් වෙන්නේ.
තවත් ප්‍රශ්නයක් තියනවා අපේ බදු වැඩි කලාට සමාගම් ලබන ලාභය පහල නොයාම. සමාගම බදු ගෙවීමෙන් පසුව 2008 වසරේදී සිගරට් පැකට් එකකින් සියයට 28.3%ක ලාභයක් ලබා තිබෙනවා. ඒ වගේම 2018 අපි බදු වැඩි කිරීමක් සිදුකලත් බදු ගෙවීමෙන් පසුව එක සිගරට් පැකට් එකකින් සමාගම 33.8ක ලාභයක් ලබා තිබෙනවා. අපේ බදු ක්‍රමයේ අඩුපාඩුව නිසා දුම්වැටි භාවිතය අඩු කිරීමේ ඉලක්කය වෙත යන්න බෑ.
ගරු කතානායකතුමනි,
ඒකපුද්ගල ආදායම ඉහල ගිහින් නම් දුම්කොළ බදු වැඩි කිරීමේ ප්‍රතිඵලය ලබන්න බෑ. ආදායම් ඉහළ ගියත් පරිභෝජනය අවම කරන්න නම් බදු වැඩිකිරීම සිදුකල යුත්තේ උද්දමනය සහ ආදායම් ඉහළයාම සැළකිල්ලට අරගෙනයි. මගේ අදහස අපිට අවශ්‍යයි පොදු ක්‍රමක්. දුම්කොළ සම්බන්ධව WHO සම්මුතිය අනුව 2025 වන විට අපි දුම්කොළ පරිභෝජනය 25%කින් අඩු කරගන්න කටයුතු කරන්න ඕන. නමුත් අපි ඊට සූදානම්ද යන ප්‍රශ්නය මම මේ සභාවට යොමුකරනවා.
මම සභාගත කල අංක 3 ලේඛනය බලන්න. එහි ඉතා පැහැදිලිව දකින්න පුළුවන් වසර දහයෙන් දහයට බෝ නොවන රෝගීන් ප්‍රමාණය වැඩි වෙලා.
වකුගඩු රෝගය ගත්තොත් Chronic kidney disease (CKD) සහ Chronic kidney disease of unknown etiology (CKDU) ලෙස දකින්න පුළුවන්. මේ වෙනකොට නිශ්චිත හේතුවක් හඳුනානොගත් වකුගඩු රෝගීන් ප්‍රමාණය වැඩිවෙලා. සමහර අය හිතනවා රසායනික පොහොර ජලයට මුසුවීම නිසා කියලා. හරි හේතුවක් දැනගන්න නෑ. ඒත් රෝගීන් ප්‍රමාණය වැඩිවෙලා. CKD රෝගීන් 2016 දී 700ක් වාර්තා වෙලා තිබෙනවා. 2019 දී 9000ක් වාර්තා වෙලා තිබෙනවා. මොවුන්ගේ රුධිර පාරවිලනය සඳහා 2015 දී ඒ අවශ්‍ය යන්ත්‍ර තිබුණේ 220යි. යන්ත්‍ර ප්‍රමාණවත් නොවුන නිසා තරුණ අයට මුල්තැන දුන්න ක්‍රමවේදයක් තමයි අනුගමනය කෙරුනේ. මහලු මිනිසුන්ව මැරෙන්න ඇරියා. නමුත් අපේ පාලන කාලය තුළ අපි රුධිර පාරවිලන යන්ත්‍ර ප්‍රමාණය 500ක් දක්වා වැඩි කළා.
ගරු කතානායකතුමනි,
රුධිර පාරවිලන කටයුත්ත සතියට දෙවරක් වගේ සිදුකරන්න අවශ්‍යයි. එක් වතාවක එක් පුද්ගලයෙකුට රුපියල් 9000ක් වගේ යනවා. ඒ කියන්නේ මාසයට රුපියල් 72000ක් වගේ මුදලක්. අපේ ආණ්ඩුව වගුගඩු රෝගීන්ගේ ආර්ථිකයට ශක්තියක් දෙන්න මේ සඳහා මුල්‍ය පහසුකම් සැලසුවා. 2016 දී රුපියල් මිලියන 487ක් ඒ සඳහා වෙන්කළා. 2017 දී රුපියල් මිලියන 869ක් වෙන්කළා. 2018 දී රුපියල් මිලියන 1318යි. 2019 දී රුපියල් මිලියන 1651 යි. ඒ වගේම පොළොන්නරුවට වකුගඩු රෝහලක් හැදුවා. අපි එහෙමයි සෞඛ්‍ය ක්ෂේත්‍රයට මුදල් ප්‍රතිපාදන වැඩිකර ජනතාව බලාකියා ගත්තේ.
එක පැත්තකින් පාරවිලන යන්ත්‍ර වැඩි කළා. මැරෙන්න අතහැරපු වැඩිහිටි රෝගීන්ගේ ජීවිතත් බේරුවා. ආර්ථික වශයෙන් ශක්තියත් දුන්නා. අන්න අපේ ප්‍රතිපත්තිය.
ඒ වගේම තමයි හදවත් රෝගීන් සඳහා කරන හදවත් සැත්කම්. 2019 මාර්තු වන විට, කොළඹ ජාතික රෝහලේ දිනකට සිදුකරන සැත්කම් ප්‍රමාණය 4 වෙනකොට පොරොත්තු ලේකනයේ හිටියා 6230ක්. කරාපිටිය ශික්ෂණ රෝහල, දිනකට සිදුකරන සැත්කම් ප්‍රමාණය 2-3ක් වගේ. පොරොත්තු ලේකනයේ රෝගීන් හිටියා 2364ක්. මහනුවර ශික්ෂණ රෝහල දිනකට සිදුකරන සැත්කම් 3-4ක්. පොරොත්තු ලේකනයේ රෝගීන් ප්‍රමාණය 3208ක්. රිජ්වේ ආර්යා ළමා රෝහල , දිනකට සැත්කම් 3-8 වගේ, පොරොත්තු ලේකනයේ රෝගීන් 1000ක්.
ගරු කතානායකතුමනි,
ජාතික රෝහල තත්ත්වය අරගෙන බැලුවොත් දිනකට සැත්කම් 4යි. පොරොත්තු ලේකනයේ 6230යි. හදවත් රෝගියෙකුට අවස්ථාව එනතුරු අවුරුදු 4ත් බලාගෙන ඉන්න වෙනවා. ඒ වගේම තමයි, දවස ගානේ, සතියක් ගානේ පොරොත්තු ලේකනයට රෝගීන් එකතු වෙනවා.
මට මතක් වෙනවා හිතවත් වෛද්‍යවරයෙකුගේ අත්දැකීමක්. ඔහුට වරක් පණිවිඩයක් ලැබෙනවා පුතෙකුගෙන් තාත්තගේ නම හදවත් සැත්කම් පොරොත්තු ලේඛනයෙන් ඉවත් කරන්න කියලා. හේතුව තාත්තා නැතිවෙලා.
පියෙකුගේ අහිමිවීම පුතෙකුට, ඒ පවුලට ඇතිකරන බලපෑම අමුතුවෙන් කියන්න ඕන නෑ. සැත්කම කරගන්න පහසුකම් නැතුව ඇස් ඉස්සරහ ජීවිතය මරණය අද්දරට යනවා කොහොම නම් දරාගෙන ඉන්නද ? ඒ නිසා රජය මීට මැදිහත් වෙන්න ඕන. එයින් ගැලවෙන්න ආණ්ඩුවට බෑ. නමුත් පොදුජන පෙරමුණ ආණ්ඩුව මොකද කරලා තියෙන්නේ? ජනතාවගේ සෞඛ්‍ය පැත්තකට දාලා පාරවල් බදාගෙන.
2015 අපි බලයට එනකොට පිළිකා රෝගියෙක් සඳහා රජය වියදම් කලේ රුපියල් ලක්ෂ 15යි. මගේ මතකයේ හැටියට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමති කාලේ මේ වියදම ලක්ෂ 25ක් දක්වා වැඩිකරන්න වෑයම් කළා. ඒ යෝජනාවට අනුමැතිය දුන්නේ නෑ කියලා. මතක තියාගන්න, අපි පිළිකා රෝගියෙකුට ජීවිත කාලයටම ප්‍රතිකාර දුන්නා. ඒකයි අපේ ප්‍රතිපත්තිය.
දියවැඩියාව, හෘද රෝග ,අධික රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග රැසකට ලබාදෙන ඖෂධ වර්ග 48ක මිල අඩුකරේ අපේ ආණ්ඩුව. ඒ ප්‍රතිපත්තිය මත පිළිකා සඳහා ලබාදෙන රුපියල් ලක්ෂ දෙකක පමණ මිලකට තිබු ඖෂධයේ මිල රුපියල් ලක්ෂයකින් අඩු වුනා.
අපේ ආණ්ඩුව එහෙමයි ජනතාවගේ සෞඛ්‍ය ගැන සැලකුවේ. මහරගම අපේක්ෂා රෝහල හදලා ඇටමිදුළු බද්දය පවා සිදුකරන තැනට ගෙනාවා. ඒ වගෙම්ක තමයි හදවත් රෝගීන් සඳහා අවශ්‍ය stent වල මිල අඩු කිරීම. අක්ෂි කාච නොමිලේ දුන්නා. අන්න අපේ ආණ්ඩුවේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය.
දියවැඩියාව පාලනයට පැණිබීම සඳහා වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වා දුන්නා. පැණිබීම වර්ග වල සීනි 1g සඳහා ශත 50ක බද්දක් පැනවුවා. සීනි භාවිතය හැකි තරම් සීමා කරවන්න කටයුතු කළා. ඒක තමයි අපේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය.
අපි සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ගෙනාවා. ඖෂධ මිල පහලට ගේන්න කටයුතු කළා. පැරසිටෝල් පෙත්ත රුපියල් 3ට තිබුනේ, අපේ ඖෂධ ප්‍රතිපත්තියෙන් තමයි එහි මිලත් රුපියලයි සත තිහට අඩුකළේ. අන්න ඒකයි අපේ ප්‍රතිපත්තිය.
අපි , අපේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න කිසිම කෙනෙක් ඖෂධ මාෆියාව ඉස්සරහා හිස නැමුවේ නෑ. අපිට කොච්චර නම් ගැහුවද ? අපි ජනතාව වෙනුවෙන් නිවැරදි සුදුසු ප්‍රතිපත්තියේ ඉඳලා වැඩ කරා. ඒත් මේ ආණ්ඩුව වසංගතයක් අවස්ථාවේවත් සෞඛ්‍ය සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන්කරලා නෑ.
ගරු කතානායකතුමනි,
අපි, දේශපාලනඥයන් ලෙඩක් දුකක් ආව ගමන් සිංගප්පුරුවේ යනවා. ඉක්මනින් බෙහෙත් අරගෙන සනීප වෙලා එනවා. නමුත් ජනතාවට ඒ අවස්ථාව නෑ. සෞඛ්‍ය සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන අපි ඉල්ලන්නේ අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයත් ඒ මට්ටමට උසස් කරන්න.
අපේ විශ්වාසය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය. ඒ තුල අපි නිතරම සමාජ ආරක්ෂණය ගැන සැළකිලිමත් වුනා. මට පේන්න තියෙන්නේ ආණ්ඩුවට නම් ඒ ගැන විශ්වාසයක් නෑ වගේ. ඒ නිසා වෙන්න ඕන සෞඛ්‍ය සම්බන්ධව ප්‍රතිපාදන ප්‍රමාණවත් පරිදි වෙන්කර නැත්තේ. ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්නය විසදීමේ කටයුත්තත් වෙළඳපොළට භාරදෙන්න වගේ. ඒ ප්‍රතිපත්තිය වැරදියි. ප්‍රශ්න සේරම විසඳන්න වෙළඳපොල ට බෑ, විශේෂයෙන් සෞඛ්‍ය ප්‍රශ්න.
ගරු කතානායකතුමනි,
ඒ වගේම කියන්න ඕන, පිටරට දියුණු රටවල වගේ නෙවෙයි, අපේ රටේ primary care කියන සංකල්පය වැරදි තැනක තියෙන්නේ. පවුලේ වෛද්‍යවරයා කවුද කියලා තෝරගන්නේ කොහේ හරි කාගේ හරි gossip එකක් හරහා. කටකතා වලින් තමයි යන්න සුදුසු වෛද්‍යවරයා හොයා ගන්නේ. මේ තත්ත්වය වෙනස් වෙන්න ඕන. එංගලන්තයේ නම් ළඟම තියන වෛද්‍ය මධ්‍යස්ථානයට තමයි යන්න ඕන. ඒ වෛද්‍යවරයා තමයි, විශේෂඥයෙක් ගාවට යොමු කරනවාද ? සාමාන්‍ය ප්‍රතිකාරයක් ප්‍රමාණවත්ද කියලා තීරණය කරන්නේ.
ඇත්තටම මම කොළඹ - මොරටුවේ මහජන නියෝජිතයා ලෙස මැදිහත් වුණා ලුනාවේ රෝහල තුළ primary care සංකල්පය නිවැරදිව ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් සකසන්න. මෑතකදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිත් මේ primary care හී වැදගත්කම අවධාරණය කරලා තිබුනා. අපි මෙහි වැදගත්කම මුලින්ම දැකපු නිසා, එය අපේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය නිසා තමයි ලුනාවේ රෝහලින් ඒ කටයුත්ත ආරම්භ කරන්න මුලපිරුවේ.
රටක් සංවර්ධනය කිරීමේදී primary care හී දියුණුව ඉතාම වැදගත්. පවුලේ වෛද්‍යවරයෙක් ඉන්න ඕන. ඔහු නිසි පුහුණුව ලැබුවෙකු වෙන්න ඕන. අපේ 2000-3000 OPD එකට යන්නේ. වසංගත පැතිරෙන කාලයක මේ එක්රොක්වීම කොච්චර භයානකද ? කොළඹ මහ රෝහල ගන්න. දවසට 5000ක් විතර OPD එනවා.
අපිට ආධාර ලෙස WB සහ ADB වෙතින් අවස්ථාව ලැබී තියනවා. Primary Health Care System Strengthening Project කියලා. Primary Health සම්බන්ධව අපේ රටේ විශේෂඥ වෛද්‍යවරුන් 17ක් පමණ ඉන්නවා. ඔවුන් මේ කටයුත්තට දායක කරගත යුතුයි. නමුත් කණගාටුවට කරුණ ඔවුන්ව ඒ සඳහා සම්බන්ධ කරගෙන නොතිබීම. සෞඛ්‍ය අමාත්‍යවරියගේ අවධානයට මම එය යොමුකරනවා.
ඒ වගේම ලුනාව රෝහලේ ආරම්භ කළ Primary Health වැඩපිළිවෙල සාර්ථක කරගන්න සෞඛ්‍ය අමාත්‍යවරිය ලබාදෙන සහය සම්බන්ධව ස්තුති කිරීමටත් මෙය අවස්ථාව කරගන්නවා. එවැනි කටයුත්තකට දායකවීම ගැන මොරටුවේ මහජන නියෝජිතයා ලෙස මටත් සතුටුයි. මේ ප්ප් ක්‍රමය රටේම ඊට දායකවීම ගැන මොරටුවේ මහජන නියෝජිතයා ලෙස මට සතුටුයි. මේ Primary Health ක්‍රමය රටේම නිවැරදිව දියුණු කලොත් රටේ හැමෝටමත් සතුටු වෙන්න පුළුවන්.
ස්තුතියි !