Wednesday, April 22, 2026
Follow Us
2026 වසරේ පාසල් නිල ඇඳුම් ප්‍රමාණය චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලබා දීම සම්පූර්ණ කළ බවට සහතිකපත් හුවමාරු කෙරේ

2026 වසරට අදාළව රජයේ හා රජයේ අනුමත පාසල්වල සිසුන්ට සහ පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීල මාතාවන් ඇතුළු ගිහි සිසුනට අවශ්‍ය කරන සමස්ත නිල ඇඳුම් රෙදි ප්‍රමාණයම චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලබා දීම සම්පූර්ණ කළ බවට නිල වශයෙන් දැනුම් දීමේ අවස්ථාව 2026.04.22 දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස 2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව සපුරාලීම සඳහා හිමි වූ රෙදි මීටර් මිලියන 11.484ක් ලබා දී අවසන් බවට නිල වශයෙන් දැනුම් දීමේ සහතික පත්‍ර හුවමාරුව අග්‍රාමාත්‍යවරිය හා ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා අතර සිදු විය. ඒ හරහා පාසල් නිල ඇඳුම් ප්‍රතිලාභය හිමිවූ සිසුන් ගණන මිලියන 4.4 කට අධිකය.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මෙසේ කියා සිටියා ය.

චීන සමූහාණ්ඩුව විසින් අපගේ පාසල් සිසුන්ට ලබාදුන් මෙම නිල ඇඳුම් ප්‍රදානය දෙරට අතර පවතින නොබිඳෙන සහයෝගීතාවයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. අප රජය අපේක්ෂා කරන අධ්‍යාපන පරිවර්තනයට යාමට අවශ්‍ය පහසුකම් ලබාදීම මෙන්ම, ආර්ථික හා සමාජීය වශයෙන් ඉදිරියට යාමට අවශ්‍ය සහය ද චීනය අපට නොකඩවා ලබාදෙන රටක්.

පාසල් නිල ඇඳුමක් යනු සරල දෙයක් නෙමෙයි. එය ගෞරවය සහ සමානාත්මතාවය පිළිබඳ කරුණක්. මෙම නිල ඇඳුම් බෙදාදීමේ වැඩසටහන මගින් අසමානතා අවම කරමින් දරුවන්ට විශ්වාසයෙන් යුතුව අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදෙනවා. එසේම ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන්ට සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙම ක්‍රියාවලිය කිසිදු කාල ප්‍රමාදයකින් තොරව සිදුකිරීම සඳහා දැක්වූ සහයෝගයට මා ස්තූතිය පුද කරනවා.

එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා ප්‍රකාශ කර සිටියේ මෙම පාසල් නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහන නොකඩවා අවුරුදු 4ක කාලසීමාවක් තිස්සේ සිදුකරමින් පවතින බවත්, ඊට අමතරව පාසල් සිසුන් සඳහා ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය, චීන ශිෂ්‍යත්ව පිරිනැමීම වැනි විවිධ වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පරිවර්තනීය මාවතකට රැගෙන යාමට අවශ්‍ය සහය ලබාදෙමින් සිටින බවත් ය. එය චීන සහ ශ්‍රී ලංකා ජනතාව අතර තිබෙන නොබිඳෙන මිත්‍රත්වය පෙන්වා දෙන සලකුණක් බව ද ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ය.

මේ අවස්ථාව සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව ඇතුළු ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.