කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාව ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (24 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය. ස්ථාවර නියෝග යටතේ ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙම පිරිස අතුරින් බහුතරයක් දෛනික ආදායම් ලබන අඩු ආදායම්ලාභී පුද්ගලයන් බවය.
මේ වන විට මාසයකට ආසන්න කාලයක් තිස්සේ මෙම ප්‍රදේශ හුදකලා කර හෝ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති නිසා ජනතාවගේ ආදායම් ඉපයීමේ අවස්ථාවන් ගිලිහී මෙලෙස අන්ත අසරණභාවයට පත් වී ඇතැයිද පැවැසුවේය.
හුදෙකලා කර ඇති ප්‍රදේශවල සිටින පවුල් සහ ස්වයං නිරෝධායනය වන පවුල් සඳහා රුපියල් 10,000 ක බඩු මල්ලක් සහ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් වලට මාසිකව රුපියල් 5000ක දීමනාවක් ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ සුදුසුකම් ලබන සියලුම පවුල්වලට එම ප්‍රතිලාභය මේ දක්වා ලැබී නොමැති බව ද විපක්ෂ නායකවරයා කීවේය.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් කීයකට මේ වන විට රුපියල් 5,000 දීමනාව සහ රුපියල් 10,000ක බඩු මල්ල ලබාදී තිබේද යන්න පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටී විපක්ෂ නායකවරයා රුපියල් 5,000 දීමනාව මසකට රුපියල් 20,000 දක්වා වැඩි කිරීමට රජය ක්‍රියාකරන්නේද යන්න දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටියේය.
(Aruna)