1999 වසරේ මාතලේ මහවෙල ප්රදේශයේදී සිදු වූ මිනිස් ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේදී ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්රයක් නීතියට පටහැනි යැයි ඊයේ (20) තීන්දු කළ අභියාචනාධිකරණය එය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කළේය.
එක් දිනක් ඇතුළත සිදු කළ ලඝු නොවන නඩු විභාගයක නිර්දේශ මත පදනම්ව නීතිපතිවරයා විසින් එම අධිචෝදනා පත්‍රය ගොනු කිරීම නීතියට පටහැනි බවට ද අභියාචනාධිකරණය තීරණය කළේය.
එම අධිචෝදනා පත්‍රය අහෝසි කරන්නැයි ඉල්ලා ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ගොනු කළ රිට් පෙත්සමක් විභාග කර එහි තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරුන් විසින් මේ නියෝගය නිකුත් කරන ලදි.
ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව මහනුවර මහේස්ත්රාත් අධිකරණයේ පැවැති ලඝු නොවන නඩු විභාගය නීතියට අනුකූලව පවත්වා නැති බවටද අධිකරණය තීරණය කළේය.
1999 වසරේ මහවෙල ප්රදේශයේ ඇතිවූ මිනී මැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් 2015 වසරේ දී බලයට පත් යහපාලන රජය විසින් තමන්ට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්රයක් ගොනු කළ බවට පවසමින් පෙත්සම්කරු විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
එම අධිචෝදනා පත්‍රය නීතිපතිවරයා විසින් ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි බැවින් එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මේ පෙත්සම මගින් ඉල්ලා තිබුණි.
එම පෙත්සමට අදාළ තීන්දුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් මහතා විසින් ප්‍රකාශ කරණ ලදි.නීතිවිරෝධී ලෙස ගොනු කර ඇති චෝදනා පත්රයක් තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට එහිදී සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් මහතා සඳහන් කළේය.
විත්තිකාර පෙත්සම්කරු වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයකින් තොරව මේ ලඝු නොවන නඩු විභාගය මහනුවර මහේස්ත්රාත් අධිකරණයේ දී එක් දිනකින් අවසන් කර තිබෙන බව පෙන්වා දුන් සභාපති විනිසුරුවරයා එය නීතියට පටහැනි බව කියා සිටියේය.
(Dinamina)