Tuesday, August 19, 2025
Follow Us
2021 අයවැය මඟින් මුදල් විශුද්ධිකරණය නිල වශයෙන් පිළිගෙන තිබෙනවා-හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර

2021 අයවැය මඟින් මුදල් විශුද්ධිකරණය නිල වශයෙන් පිළිගෙන තිබෙන බවත්, විදේශයන්හි සඟවා ඇති අරමුදල් කිසිදු ගැටලුවකින් තොරව දේශීය ආයෝජනයන් සදහා ආරාධනා කිරීම තුළින් එම කාරණය පැහැදිලිවන බවත් ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් කියා සිටියි.


මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ක්‍රියා කරන මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ‘අළු ලේඛනය’ ලෙස හඳුන්වනු ලබන මූල්‍ය කාර්ය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙන් ශ්‍රී ලංකාව 2019 ඔක්තෝම්බර් මස ඉවත් කරන ලද්දේ මුදල් අමාත්‍යාංශය විසින් මහත් පරිශ්‍රමයක් දරමින් සිදු කරන ලද වසර ගණනාවක උත්සාහයක ප්‍රතිඑලයක් ලෙස බව පවසන මංගල සමරවීර, ”දැන් අප නැවතත් එම ‘අළු ලේඛනයට’ ඇතුළත් විය යුතුද ?” කියා විමසා සිටියි.
අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඊයේ (18) බදු සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ අගමැතිවරයා, “බදු හෝ විනිමය පාලන නීති වලින් මිදීම සඳහා දේශීයව හෝ විදේශීයව සඟවා තබාගෙන ඇති මුදල් රටේ අභිවෘද්ධියට යොදන ලෙස එම ව්‍යාපාරිකයින්ගෙන්ද මම ඉල්ලා සිටිනවා. මෙම අයවැයෙන් සලසා ඇති ඕනෑම ආයෝජනයක් සඳහා එසේ මුදල් යොදවන ව්‍යාපාරිකයන්ට පිළිගත් දිවුරුම් ප්‍රකාශයක් සහිතව සියයට 1ක බදු ගෙවීමකට යටත්ව බදු සමාවක් ලබාදීමට නීති ප්‍රතිපාදන යෙදීමටද බලාපොරොත්තු වෙනවා.” යයි සඳහන් කළේය.

“ද ලීඩර් “පුවත් වෙබ් අඩවියෙන් උපුටා ගැනුණි