Tuesday, August 19, 2025
Follow Us
පක්ෂයේ තනතුරුවලින් ඉවත් උනා, සාමාජිකත්වයෙන් ඉවත් වෙන්නෙ නෑ ! ඉවත් කරන්නත් බෑ ! - ඩයනා

සමගි ජන බලවේගයේ උප ලේකම් තනතුරින් ඉල්ලා අස් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පවසනවා. ඇයගේ සැමියා වන සිල්වා මහතාද ඔහු දැරූ උප සභාපති තනතුරින් ඉවත් වී ඇති අතර සතියකට පමණ ඉහතදී ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත යැවූ බවයි ඩයනා ගමගේ මහත්මිය පවසන්නේ.

සේනක සිල්වා මහතා සහ ඩයනා ගමගේ මහත්මිය සභාපති හා ලේකම් ලෙස කටයුතු කළ අපේ ජාතික පෙරමුණ, පසුගිය මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු එජාපයෙන් ඉවත්ව පැමිණි කණ්ඩායමට ලබාදුන් අතර එහි නම සමගි ජන බලවේගය ලෙස වෙනස් කෙරිණි. සජිත් ප්‍රේමදාස මහතා සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතා සභාපති සහ ලේකම් තනතුරුවලට පත් වූ අතර සේනක සිල්වා මහතා උප සභාපති තනතුරටත් ඩයනා ගමගේ මහත්මිය උප ලේකම් තනතුරටත් පත් කෙරිණි.

20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊට සහාය පළ කරමින් ඩයනා ගමගේ මහත්මිය ආණ්ඩු පාර්ශ්වයට එකතු වූ අතර සමගි ජන බලවේගයේ නායකයන් ප්‍රකාශ කළේ 20 ට සහාය දැක්වූ සියලු දෙනා පක්ෂයෙන් නෙරපා හරින බවයි.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගෙන් විමසූ අතර එහිදී ඇය සඳහන් කළේ 20 වැනි සංශෝධනයට පක්ෂ වීමත් සමග උද්ගත වූ තත්වය මත, තමා හා තම සැමියා පක්ෂයේ තනතුරුවලින් ඉවත් වීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් දෙදෙනාම තවදුරටත් පක්ෂයේ සාමාජිකයන් ලෙස කටයුතු කරන බවත්, සමගි ජන බලවේගයේ නායකයන් කුමන ප්‍රකාශ සිදු කළද තමන් පක්ෂයෙන් ඉවත් කිරීමට ඔවුන් කිසිදු හැකියාවක් නොමැති බවත් ඇය පවසනවා. තමන් වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගන්නා තෙක් සමගි ජන බලවේගයේ සාමාජිකයන් වන බවත්, වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගැනීමේ කිසිදු අදහසක් නොමැති බවත් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පවසනවා.

(LNW)