Tuesday, August 19, 2025
Follow Us
දුමින්ද නිදහස් කරන්නැයි ඉල්ලන පෙත්සමට විපක්ෂයේ මන්ත්‍රී පිරිසකුත් අත්සන් කරලා

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාව මත නිදහස් කරන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අත්සන් එකතු කළ පෙත්සමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද අත්සන් තබා ඇති බව වාර්තා වේ.

සමගි ජන බලවේගය සමග සන්ධානගතව සිටින මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මෙසේ ඉහත කී පෙත්සමට අත්සන් තබා ඇති බව සඳහන්.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් සහ වේලුසාමි රාධක්‍රිෂ්ණන්, මයිල්වානගම් උදයකුමාර් සහ අරවින්ද් කුමාර් යන මන්ත්‍රීවරුන් එම පෙත්සමට අත්සන් තබා ඇති අතර එම සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර මහතා ඊට අත්සන් තබා නැත.

මේ පිළිබඳව මාධ්‍ය වෙත තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව මනෝ ගනේෂන් මහතා මේ පිළිබඳ සමාජ මාධ්‍ය ජාල තුළ සටහනක් පළකර තිබුණු නමුත් ඊට ලැබුණු දැඩි ප්‍රහාරාත්මක ප්‍රතිචාර හමුවේ ඔහු විසින්ම එය ඉවත් කරගෙන තිබිණි. ඔහු එහි සඳහන් කර තිබුණේ අදාළ සිද්ධිය අවස්ථාවේදී දුමින්ද සිල්වා මහතා මත්පැන් පානය කර සිට ඇති බවත්, තරුණ පිරිස් එවන් වැරදි කරන බවත් ඔහු දැනට වසර පහක් බන්ධනාගාරගතව සිට ඇති බැවින් වැරදි හදාගැනීම සඳහා ඔහුට අවස්ථාවක් ලැබිය යුතු බවත් ය.

මේ අතර මාධ්‍යවේදියකු මේ පිළිබඳව පලනි දිගම්බරම් මහතාගෙන් විමසූ විට ඔහු ද තමන් අත්සන් තැබූ බව තහවුරු කර ඇති අතර එය සාධාරණීකරණය කිරීම සඳහා කරුණු ද පවසා ඇති බවත් වාර්තා විය.

(LNW)