Saturday, April 20, 2024
Follow Us
පෞද්ගලික අංශ සේවිකාවන්ගේ මාතෘ ප්‍රතිලාබ පිරිවැය රජය විසින් දැරිය යුතුයි -   ඉරාන්

වර්තමානයේ රටට අවශ්‍ය විදේශ විනිමය ආදායම ගෙන දෙන ආර්ථිකයේ ජීවනාලිය ලෙස කාන්තාව සැලකෙන බැවින් පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කාන්තා පාර්ශ්වයන්ගේ මාර්තෘ ප්‍රතිලාබ පිරිවැය රජය විසින් දැරිය යුතු යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අඟහරුවාදා (20) පාර්ලිමේන්තුවේ දී රජයෙන් ඉල්ලා සිටියේය.


අපනයන සංවර්ධන මණ්ඩලයට අයත් සෙස් බදු නියම කිරීමේ ගැසට් නිවේදන දෙකක් සම්බන්ධයෙන් වූ විවාදය ඔක්තෝම්බර් 20 පාර්ලිමේන්තුවේදී සිදු විය. එහි විවාදයට සහභාගිවෙමින් එහි දී වැඩිදුරටත් කථා කල ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රී වරයා මෙසේ ද කීය.
අද ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය ආදායම් ලබා දෙන ක්ෂේත්රවල වැඩියෙන්ම සේවයේ නිරතව සිටින්නේ කාන්තාවන්ය. ඇඟලූම් අපනයනය , පාරම්පරික අපනයන භාණ්ඩයක් වන තේ කර්මාන්තය හා අපගේ විගමණික ශ්‍රමිකයන්ගන් ද බහුතරයක් කාන්තාවන් වේ.
එපමණක් නොව අධ්‍යාපනය හා තරඟකාරී ක්ෂේත්‍රයේ ද ඉදිරියෙන් සිටින්නේ කාන්තාවන්ය. අධ්‍යාපනයේ සාමාන්ය පෙල හා උසස් පෙල මෙන්ම විශ්ව විද්‍යාල ප්‍රවේශයේ ද බහුතරයක් කාන්තාවන් ය.තරඟකාරී විභාග හරහා රාජ්ය සේවයේ කළමනාකරන සේවාව, ගුරු සේවාව සහ දීප ව්යාප්ත සේවාවලට ඇතුලත්වන්නේ බහුතරයක්ම කාන්තාවන්ය. සමස්තයක් ලෙස ගත් කල අපගේ රාජ්‍ය සේවයේ අඩු වැඩි වශයෙන් ගත් කල 60 % ට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන් ය.
අප රජය විසින් දින 84 ක ප්‍රසූත නිවාඩු මාතෘ ප්‍රතිලාභ ලබා දුන්නා. වයස අවුරුදු 40 ට අඩු කාන්තාවන් සේවයට බඳවා ගැනීමේ දී පෞද්ගලික අංශය කාන්තාවන් බඳවා ගන්න අදි මදි කරන තත්ත්වයක් පවතියි. අවුරුදදු 20 - 40 අතර කාන්තාවන් ලක්ෂ දෙකක් පමණ රැකියා විරහිතව සිටිනවා.පෞද්ගලික අංශය විසින් කාන්තාවන් සේවය සඳහා බඳවාගැනීම දිරිමත් කිරීම උදෙසා පෞද්ගලික අංශ සේවිකාවන් හට මාතෘ ප්‍රරතිලාභ ලබාදීමේ පිරි වැය රජය විසින් බාර ගෙන එහි පිරි වැය භර රජය විසින් දැරිය යුතුයි.මේ සඳහා රු. බිලියන 4.2 ක් පමණ සුලු මුදලක් වැය වනු ඇත.රටවල් 129 ක මාතෘ ප්‍රතිලාභ ලබා දෙනවා.ඒයින් රටවල් 96 ක පූර්ණ වියදම් රජයෙන් දරනවා, රටවල් 33 ක අර්ධ වියදම් ලබා දෙනවා. සමෘදියට බිලියන 37 වැයවෙනවා. රැකියා විරහිත උපාධිදාරීන් බඳවා ගන්නව මේවාට යන පිරිවැය තවම කියා නැත. එහෙයින් ආර්ථිකයට කාන්තාවන්ගෙන් ලැබෙන දායකතවය සැලකිල්ලට ගෙන රජය මෙ පෞද්ගලික අංශ මාතෘ පිරිවැය දැරීමට රජය ඉදිරිපත්විම රටේ සංවර්ධනය වේගවත් කිරීමට ඉවහල් වේ.

කාන්තාවන් කොපමණ දායකතවයක් ආර්ථිකයට දුන්න ද කොරෝනා දෙවන රැල්ල මතුවූ මිනුවංගොඩ සිද්දිය බලපුවහම එහි පලමු රෝගියා ප්‍රදීපික සුදර්ශනී මහත්මිය ව මතක් වෙනවා. දිවුලපිටිය පොලිසිය එතුමියට අපහාසාත්මක ලෙස කතා කරන විට මගේ මහත්තයා ත්‍රී රෝද රියදුරෙක් නිසාද මෙසේ කථා කරන්නේ යැයි ඇය පොලිසියෙන් අසා තිබෙනවා.
ඒ වගේම කෝවිඩ් නිසා අපේ නිදහස් වෙළඳ කලාපයේ සේවකයන්ව නිරෝධායනයට ලක් කිරීම සඳහා රාත්‍රියේ ගිහින්, පොලිසිය අපරාදයක් කළ පිරිසක් සේ මේ අයව හසුරුවගෙන ගිහිල්ලා තියෙන්නේ. මේ අය අපේ රටේ දෙවන පෙල පුරවැසියන් ද කියන ප්‍රශ්ණ ය අපි අපෙන්ම අසාගත යුතු වෙනවා යයි ඉරාන් වික්රමරත්න මහතා ප්‍රකාශ කළේය.

එක රටයි නීති දෙකක් කියන එක ද ?
ඇඟලුම් සේවිකාවන් බොහෝ අය ඉන්නේ බෝඩින්වලය. සෞඛ්‍ය පහසුකම් හා පවුල් සෞඛ්‍ය නිලධාරීන් නොමැති බවත් ඔවුන් සඳහන් කරනවා.මොකද්ද ඇත්තටම මෙතන සිදුවෙලා තියෙන්නේ. පන්ති පරතරයක් ඇතිවේගෙන යන ප්‍රශ්ණයක් තියෙන්නේ. ඔවුන්ට බැන වැද වරද කරුවන් ලෙසයි නිරෝධායනයට අරගෙන ගිහින් තියෙන්නේ.
එක රටයි එක නීතියයි කියලයි කිව්වේ මටනම් හැමදාම පෙනෙන්නේ එක රටයි නීති දෙකක් කියන එකයි. මෙය රෝගයකි, වරදක් නොවේ. වෛද්‍යවරු රෝගීන්ට කතාකරන භාශාවයි විලාශයයි පොලිසිය හා හමුදාව කතාකරන භාශාවයි විලාශයයි වෙනස්. ඒ දෙපිරිස වැදගත් කාරණා දෙකක් ඉෂ්ඨ කරන්නේ.ඒ දෙකට අපි ගරු කළ යුතු යනුවෙන් ඉරාන් වික්‍රමරත්න මහතා ඉල්ලා සිටියේ ය.