තැපැල් දෙපාර්තමේන්තු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මහජනතාවට /රාජ්‍ය /පෞද්ගලික ආයතනවලට සිදුවන අපහසුතා අවම කරගැනීම සඳහා තැපැල්පති ආර්.පී. සත්කුමාර මහතා දැනුවත් කිරීමක් කර තිබේ.
එම නිවේදනය පහත සඳහන් පරිදි වේ.
"තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් 2025.08.17 දින ප.ව.04.00 සිට මධ්‍ය තැපැල් හුවමාරුව හා එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට දිවයින පුරා සියළුම තැපැල් සහ පාලන කාර්යාලවල අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දන්වා ඇත
මෙහිදී මෙම අඛණ්ඩ වැඩ වර්ජනයක් ඉල්ලීම් 19 ක් ඉදිරිපත් කරමින් කැදවා ඇති නමුත් එහි ප්‍රධාන ඉල්ලීම් වනුයේ
1.රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 10/2025 අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා අතිකාල ගෙවීම සම්බන්ධයෙන් ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කිරීම
2.තැපැල් දෙපාර්තමේන්තුවේ සියළුම පාලන කාර්යාල හා ගිණුම් කාර්යාලවල නිලධාරීන් ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීම හා පිටවීම සටහන් කළ යුතු බවට ලබා දී ඇති උපදෙස් වලට විරෝධය දැක්වීම.
ඉහත කරුණු දෙකම රජයේ ප්‍රතිපත්තිමය කරුණු වන අතර එයට විරෝධය පළ කර වැඩ වර්ජනයකට යාම ඉතා අසාධාරණ ක්‍රියාමාර්ගයකි.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 10/2025 මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමක් සිදු කර ඇති අතර එම වැටුප් අනුව සියළුම රාජ්‍ය සේවකයන් ලබා ගත යුතු අතිකාල ප්‍රමාණය සම්බන්ධයෙන් පැහැදිලි උපදෙස් ලබා දී ඇත. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා 40 % කට ආසන්න අතිකාල දීමනා මෙන්ම මාසික වැටුප්ද ඉතා ඉහළ අගයකින් වැඩි වීමක් සිදුව ඇති අතර තැපැල් දෙපාර්තමේන්තුව සඳහා අනෙක් දෙපාර්තමේන්තුවලට වෙනස් ආකාරයෙන් පැයකට අතිරේක 25% හෝ 50 % ප්‍රසාද පැය ඇතුළත්ව අතිකාල ගණනය බැවින් ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් අතිකාල ගෙවීම් සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇත.
එම උපදෙස් අනුව 2025.04.01 දින සිට අතිකාල ගෙවීම් සිදු කළ යුතු අතර 2025 මාර්තු මස ලබා ගත් අතිකාල හා වැටුප් සමඟ සන්සන්දන කිරීමේදී මේ වන විට ඉහළ වටුප් වැඩිවීමක් හා අතිකාල ගෙවීම් හිමිවන හෙයින් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම මඟින් වෘත්තීය සමිති මඟින් පෙන්වා දෙන ආකාරයේ අවාසියක් කිසිදු සේවකයෙකුට සිදු නොවේ.
එසේම සියළුම පාලන හා ගිණුම් කාර්යාලවල අතිකාල සම්බන්ධයෙන් ලබා දිය හැකි උපරිම සහන ලබා දී ඇති අතර සාමාන්‍ය රාජකාරි සඳහා පැමිණීම සහ පිටවීම අනිවාර්යයෙන්ම ඇඟිළි සලකුණු කළ යුතු බවට උපදෙස් නිකුත් කර ඇත. ඒ සම්බන්ධයෙන්ද ඉහත පරිදි වෘත්තීය සමිති විරෝධය දක්වා මෙම වැඩ වර්ජනය පාදක කරගෙන ඇත වෘත්තීය සමිති විරෝධය පල කර ඇත.
මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුවේ සමස්ත පිරිවැයෙන් 90% ක් වැටුප් හා අතිකාල ගෙවීම සඳහා දැරීමට සිදු වී ඇති පසුබිමක රජයේ නීතිරීති වලින් බැහැරව විගණන වාර්තා මඟින් ලබා දී ඇති උපදෙස්වලට පටහැනිව ක්‍රියා කිරීමේ හැකියාවක් නොමැත. වාර්ෂිකව රුපියල් බිලියන 4.0 ක පමන ආදායම් ඉක්මවා ගිය වියදමක් සහිතව පවත්වාගෙන යන තැපැල් දෙපාර්තමේන්තුව ආදායම් තත්ත්වයන් ඉහළට ගෙන නොඑන්නේ නම් වාර්ෂික මෙහෙයුම් අලාභය රුපියල් බිලියන 12.0 ඉක්මා යනු ඇත.
සාම්ප්‍රදායික තැපැල් සේවාවලින් බැහැරව පාරිභෝගික අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි අගය එකතු කළ තැපැල් සේවාවන් ක්‍රියාත්මක කරමින් ආදායම් ඉපැයීමේ දැඩි උත්සාහයක තැපැල් දෙපාර්තමේන්තුව නිරතව සිටින මෙවැනි අවස්ථාවක දෙපාර්තමේන්තු සේවකයින් නොමග යවමින් තැපැල් වෘත්තීය සමිති විසින් මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීම කණගාටුවට කරුණකි.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා තැපැල් කාර්යාල ජාලයට අයත් උප තැපැල් කාර්යාල 3354 ක උප තැපැල් ස්ථානාධිපතිවරුන් සහභාගි නොවන බව දන්වා ඇති අතර එම කාර්යාලවල සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදු වන බැවින් එම කාර්යාල වෙතින් තැපැල් සේවාවන් ඉටු කර ගත හැකි වේ. එසේ වුවද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තැපැල් භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු ප්‍රමාදයකට ලක්විය හැකි බව මහජනතාව වෙත දන්වා සිටිමි. මෙම අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව පල කරමි.
එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර
තැපැල්පති"
ඒ අනුව ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් 2025.07.15 දින ඒ සම්බන්ධයෙන් පැහැදිලි උපදෙස් ලබා දී ඇත. මේ පිළිබඳව නැවතත් 2025.08.11 දින තැපැල් වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ ආයතන අධ්‍යක්ෂ ජනරාල් හා පැවති සාකච්ඡාවේදීද ඒ බව පැහැදිලි කර තිබේ.