Friday, March 29, 2024
Follow Us
රිෂාඩ්ගේ පෙත්සම ඉදිරියට පවත්වා ගෙන යනවාද නැද්ද ප්‍රශ්නයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි අභියාචනාධිකරණයට ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීම මෙම නොවැම්බර් 6 වැනිදාට කල් තැබිණි.

කුමුදුනී වික්‍රමසිංහ සහ සුබෝධ රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (20 වැනිදා) මෙම පෙත්සම කැඳවන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇති බැවින් පෙත්සම තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යනවාද නැද්ද පිළිබඳව ඔහුගෙන් උපදෙස් ලබාගෙන පසුව අධිකරණයට දැනුම් දෙන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා පැවැසීය.

පෙත්සම සලකා බැලීම කල් දැමීමට විනිසුරු මඩුල්ල තීරණය කළේ ඉන් අනතුරුවය. පෙත්සමේ වගඋත්තකරුවන් වන වාණිජ අපරාධ පොලිස් ඒකකයේ ප්‍රධානී නිරෝෂිනී හේවාපතිරණ, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති එස්.පී. රණසිංහ ඇතුළු පොලිස් නිලධාරීන් 06 දෙනා ඊයේ (20 වැනිදා) උසාවියේ පෙනී නොසිටි බැවින් ඔවුන්ට යළි නොතිසි නිකුත් කරන ලෙසද අභියාචනාධිකරණය නියෝග කළේය.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරිස් පුල්ලේ පෙනී සිටියේය. පෙත්සමේ පදනමක් නැති බැවින් විභාගයක් පවත්වන්නේ නැතිවම පෙත්සම අහක දමන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

(Aruna)