Sunday, August 17, 2025
Follow Us
20 වැනි සංශෝධනය ඔක්තෝබර් 21 සහ 22 විවාදයට ගැනේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන 20 වැනි සංශෝධනය ලබන ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර 20 වැනි සංශෝධනයට අදාළව ශ්‍රේෂඨාධිකරණයේ තීන්දුව ඔක්තෝබර් 20 වැනිදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනු ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී පෙරවරු 10 සිට රාත්‍රී 7.30 දක්වා පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට තීරණය වී තිබේ. ඔක්තෝබර් 22 වැනිදා රාත්‍රී 7.30 ට විවාදය අවසන් වීමෙන් පසු කාරකසභා අවස්ථාව ආරම්භ කිරීමට නියමිතය.

එම දින 02 තුළදී පාර්ලිමේන්තුව ආරම්භයේ දී පැවැත්වෙන වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ප්‍රශ්න සභා ගර්භය තුළදී ඉදිරිපත් නොකෙරෙන අතර දිවා විවේකය සඳහා පාර්ලිමේන්තුව අත්හිටුවීමක්ද සිදු නොවනු ඇත.

මේ අතර ඔක්තෝබර් 20 වැනිදා පෙරවරු 10.00 සිට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝග 03ක් විවාදයට ගැනීමටත් කාරක සභාව තීරණය කළේය. එදින සවස 4.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනෙනු ඇත.

එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. ආර්.ඩබ්ලිව්.රාජපක්ෂ හා අභාවප්‍රාප්ත කේ. පී. සිල්වා යන මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි අභාවප්‍රාප්ත සුරංගනී එල්ලාවල මහත්මිගේ ශෝක ප්‍රකාශ යෝජනා ලබන 23 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතයි.

(news.lk)