අප සිදුකරන සෑම මැදිහත්වීමක්ම තිරසාරභාවය, සමානාත්මතාවය සහ මානව ගරුත්වය වෙනුවෙන් දායකවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) දී ඊයේ(18) පැවති 28 වන ආසියා පැසිෆික් කලාපීය සමාජ සේවා වැඩමුළුව 2025 හි සමාරම්භක අවස්ථාව අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙම අදහස් පළ කළාය.
ජාතික සමාජ සංවර්ධන ආයතනය (NISD) සහ ශ්‍රී ලංකා සමාජ කාර්යයන්හි නියුතු වෘත්තීයවේදීන්ගේ සංගමය (SLAPSW) විසින් සංවිධාන කරන ලද මෙම සමුළුව නොවැම්බර් 18 සිට 21 දක්වා කොළඹ දී “දේශගුණික විපර්යාස සහ අනෙකුත් පාරිසරික ගැටළු සඳහා සමාජ කාර්යයන්හි ප්‍රතිචාර” යන තේමාව යටතේ පැවැත්වේ.
උත්සව අවස්ථාව ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
ශ්‍රී ලංකාව නිරන්තරයෙන් වෙරළ ඛාදනය, අනපේක්ෂිත මෝසම් වැසි, නාගරික ගංවතුර, නියඟ වගේම කෘෂිකර්මාන්තයට, ධීවර කර්මාන්තයට සහ ග්‍රාමීය ප්‍රජාවන්ට සෘජුවම බලපාන අනෙකුත් දේශගුණික ආශ්රිත අභියෝගවලට මුහුණ දෙනවා. මෙම පාරිසරික වෙනස්කම් හේතුවෙන් සමාජ අසමානතාවයන් තවත් උග්‍ර වෙනවා වගේම ඒ නිසා ගොවීන්, ධීවරයින්, වතුකරයේ ප්‍රජාවන් සහ අනෙකුත් ආන්තික කණ්ඩායම්වලට අහිතකර ලෙස බලපානවා.
මෙම අභියෝගවලට මුහුණ දීමේදී සමාජ සේවකයින් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ආපදාවල දී ක්ෂණික ආධාර, මනෝ සමාජීය සහාය මෙන්ම දිගුකාලීන පුනරුත්ථාපන පහසුකම් සපයමින් එම අවස්ථාවල දී බොහෝ විට පළමු ව මැදිහත් වන්නේ ඔවුන්. ශ්‍රී ලංකාවේ සමාජ සේවකයින් ප්‍රජා බලගැන්වීමේ හැකියාව ශක්තිමත් කරනවා වගේම තරුණ පරපුර සහ කාන්තාවන් බලගැන්වීමට සහාය වෙනවා, ඒ වගේම පරිසරය වෙනුවෙන් පෙනී සිටිනවා.
දේශගුණික අනුවර්තනය, සමාජ ආරක්ෂාව සහ ප්‍රජා බලගැන්වීම එකට එකතු කරන ඒකාබද්ධ ප්රවේශයන් හරහා රජය මෙම උත්සාහයන්ට සහාය දක්වනවා.
අපගේ තරුණ පරපුර දේශගුණික ක්‍රියාකාරකම් සහ තිරසාරත්වය සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා. ශ්‍රී ලංකාව පුරා, සිසුන් පාසල් පාදක කරගත් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන සමාජවලට සහභාගී වෙනවා, ඒ වගේම දැනුවත් කිරීමේ වැඩසටහන් මෙහෙයවනවා, ප්‍රජා පිරිසිදු කිරීමේ වැඩසටහන් සංවිධානය කරනවා. පාසල් මට්ටමේ ළමා සමාජ සහ ජාතික තරුණ සේවා සභාව හරහා තරුණ තරුණියන්, විනාශ වී ඇති භූමි ප්‍රදේශ ප්‍රතිසංස්කරණය කිරීම සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් ආරක්ෂා කිරීම සඳහා මහා පරිමාණයෙන් ගස් සිටුවීම් සහ වන වගා කිරමේ මුලපිරීම්වල නිරත වෙනවා.
ඩිජිටල් ආපදා නිරීක්ෂණය සහ ක්ලයිමේට්-ස්මාර්ට් කෘෂිකර්මාන්තය ඇතුළු තාක්ෂණික සහ නවෝත්පාදන වැඩසටහන් ප්‍රජාවන්ට කාලගුණික විපර්යාසවලට යහපත් ලෙස ප්‍රතිචාර දැක්වීමට උපකාරී වෙනවා. පාරිසරික හා සමාජීය අභියෝග සඳහා විසඳුම් ලබා දීම සඳහා ජාතික පර්යේෂණ සහ සංවර්ධන ආයතනයක් සහ කවුන්සිලයක් පිහිටුවීම හරහා ජාතික පර්යේෂණ සහ නවෝත්පාදනයන්ට ප්‍රමුඛත්වය දෙමින් 2026 වසරේ අයවැය හරහා මෙම දැක්ම ශක්තිමත් කරනවා.
ඒ හරහා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ශක්තිමත් කරන අතරම, අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත දරුවන් සඳහා ලබා දෙන සහාය ද පුළුල් කරනවා, ඒ වගේම පොදු යටිතල පහසුකම් වැඩි දියුණු කරනවා. නායයෑම් අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල සහ අභ්‍යන්තරව අවතැන් වූ පවුල්වල ජීවත් වන පිරිස ඇතුළු ව අවදානමට ලක්විය හැකි ප්රජාවන්ගේ නිවාස අවශ්‍යතා සඳහා ද මෙවර අයවැය මඟින් අවධානය යොමු කරනවා. එමෙන්ම සමාජ ආරක්ෂණ ප්රතිලාභ ලේඛනය සහ ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන හරහා සමාජ ආරක්ෂණ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යනවා වගේම, වතු සේවකයින් සඳහා වැටුප් වැඩි කිරීමේ පියවර සහ කාන්තා සවිබල ගැන්වීම සඳහා ද පියවර ගනිමින් තිබෙනවා.
ඊට අමතරව, ඉලක්කගත යටිතල පහසුකම් ආයෝජන හරහා මිනිසුන් සහ වනසතුන් අතර ඇතිවන ගැටුම් අවම කිරීම සඳහා පාරිසරික පර්යේෂණ සහ උපාය මාර්ග සඳහා ද අයවැය මගින් අවධානය යොමු කරලා තියෙනවා. කිසිදු රාජ්‍යයකට තනිව පාරිසරික යුක්තිය සාක්ෂාත් කරගත නොහැකියි; ඒ සඳහා සහයෝගීතාවය කියන්නේ අත්‍යවශ්‍ය කරුණක්. කලාපීය වශයෙන් පවතින ධාරිතාව සහ සහයෝගීතාවය ශක්තිමත් කරමින් අත්දැකීම්, පර්යේෂණ සහ විසඳුම් බෙදා ගැනීමට අවශ්‍ය පසුබිම මෙම මෙම වැඩමුළුව මඟින් ලබා දෙනවා. ශක්තිමත් ප්‍රජාවක්, ඵලදායී සමාජ සේවා ආයතන සහ දේශගුණික අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රතිපත්ති ගොඩනැගීම සඳහා අප හා එක්වන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා.
මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, ජාත්‍යන්තර සමාජ වැඩ සම්මේලනයේ ආසියා-පැසිෆික් සභාපති මහාචාර්ය Machiko Ohara සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සහභාගී වූහ.