Tuesday, September 17, 2024
Follow Us
මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර නිල වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දෙයි

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මහව සිට අනුරාධපුරය දක්වා වූ කිලෝ මීටර් 65ක  දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර එය නිල වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට භාරදීම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේදී අද (12) සිදු කෙරිණි.

මෙම අවස්ථාවට  ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක්ව සිටි අතර ව්‍යාපෘති අධ්‍යක්ෂ චින්තක ජයසේකර මහතා විසින් දුම්රිය සාමාන්‍යාධිකාරී (වැඩබලන) කීර්ති හේවාපතිරණ මහතා වෙත ප්‍රතිසංස්කරණ අවසන් වූ ව්‍යාපෘතිය නිල වශයෙන් භාරදෙන ලදී.

මෙම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මහව සිට ඕමන්තය දක්වා වූ දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 128ක් ප්‍රතිසංස්කරණය කළ අතර මීට පෙර අනුරාධපුර සිට ඕමන්තය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දිම සිදු විය. මෙම සම්පූර්ණ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා වැය වූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 91කි.

මෙයට සමගාමීව දුම්රිය  දෙපාර්තමේන්තුව දුම්රිය ස්ථාන 7ක මාර්ග වැඩි දියුණු කළ අතර යාපනය, අනුරාධපුර, ගල්ගමුව, තඹුත්තේගම වැනි විශේෂිත ආර්ථික මරමස්ථාන සඳහා මෙම ව්‍යාපෘතිය යටතේ පහසුකම් සැලසෙනු ඇත.

සංඥා පාලනය හා මෙහෙයුම් කටයුතු අනුරාධපුර පාලන කාර්යාලයේ සිට සිදුකිරීම සඳහා අවශ්‍ය වන මධ්‍යගත දර්ශන පද්ධතියක්ද මෙහිදී ස්ථාපනය කෙරේ. මෙයට අමතරව දුම්රිය ස්ථාන හතක්ද මාර්ග කිලෝමීටර් 65 ක් ද වැඩි දියුණු කෙරෙන අතර යාපනය, අනුරාධපුර, ගල්ගමුව, තඹුත්තේගම වැනි විශේෂිත මරමස්ථාන සඳහා මෙම ව්‍යාපෘතිය යටතේ පහසුකම් සැලසෙනු ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් Shurab Shablok මහතා, IRCON ආයතනයේ මෙරට නියෝජිත Guru Chadchan මහතා, දුම්රිය සාමාන්‍යධිකාරි ( වැඩබලන ) කීර්ති හේවාවිතාරණ මහතා, ව්‍යාපෘති අධ්‍යක්ෂක චින්තක ජයසේකර මහතා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ හා දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් මේ අවස්ථාවට එක් විය.