Wednesday, June 26, 2024
Follow Us
2022- 2024 වැඩිම නීති ප්‍රතිසංස්කරණ කළ කාල වකවානුව ලෙස ඉතිහාසගත වෙයි

2022- 2024 මෙරට වැඩිම නීති ප්‍රතිසංස්කරණ ගණනක් සිදු කළ කාල වකවානුව ලෙස ඉතිහාසගත වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා පැවසීය.

අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට අදාළව 2022 වර්ෂයේ සිට මේ දක්වා නීති ප්‍රතිසංස්කරණ 59ක් පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති අතර තවත් කෙටුම්පත් 07ක් සහ නීති සංශෝධන 44ක් ඉදිරියේදී සම්මත කර ගැනීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළේය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එසේම සෑම අමාත්‍යාංශයකම නීති කෙටුම්පත් කිරීම වෙනුවෙන් තම අමාත්‍යාංශය විශාල කාර්යභාරයක් ඉටු කරන බව පැවසූ ඒ මහතා 2022 වර්ෂයේදී 273ක් හා 2023 වර්ෂයේදී 299ක් ලෙස භාෂා ත්‍රිත්වයෙන්ම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් කෙටුම්පත් සකස් කර දී තිබෙන බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා මෙසේද පැවසීය,

නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව ගෙවී ගිය වසර දෙකක කාලය තුළ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා.

මෙම කාල පරිච්ඡේදය වැඩිම නීති ප්‍රතිසංස්කරණ ගණනක් සිදු කළ කාල වකවානුව ලෙස ඉතිහාසගත වෙනවා.

අප අමාත්‍යාංශයේ විෂය පථයට අදාළව 2022 වර්ෂයේ 29ක්, 2023 වර්ෂයේ 17ක්, 2024 වර්ෂයේ මේ දක්වා 13ක් ලෙස නීති ප්‍රතිසංස්කරණ 59ක් පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙනවා. තවත් කෙටුම්පත් 07ක් නුදුරේදීම පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිතයි. ඒ වගේම තවත් ඉතා වැදගත් නීති සංශෝධන 44ක කටයුතු බොහෝ දුරට අවසන්ව තිබෙන බවද කිව යුතුයි. ඒ වගේම අධිකරණ අමාත්‍යාංශය විසින් සෑම අමාත්‍යාංශයකම නීති කෙටුම්පත් කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරන බව මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි.

ඒ අනුව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් අනෙක් අමාත්‍යාංශ සඳහා 2022 වර්ෂයේදී 273ක්, 2023 වර්ෂයේදී 299ක් ලෙස භාෂා ත්‍රිත්වයෙන්ම නීති කෙටුම් පත් සකස් කර දී තිබෙනවා.

අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීමෙන් ජනතාවගේ නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීමේ හැකියාව ලැබෙනවා. එමඟින් නඩුකටයුතුවලට අදාළ දේපළ ආර්ථික සංවර්ධනයට යොදා ගත හැකි වෙනවා. ඒ වගේම යහපත් ආයෝජන පරිසරයක් ගොඩ නැ‍ඟෙනවා . මේ අනුව නීතියේ ප්‍රමාදයත් ආර්ථික සංවර්ධනයත් අතර සෘජු සම්බන්ධයක් තිබෙන බව පැහැදිලියි.

2017 වසරේදී නෛතික කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව නිකුත් කළ වාර්තාවට අනුව අපරාධ නඩුවක් අවසන් කරන්න සාමාන්‍යයෙන් අවුරුදු 17ක් පමණ ගතවෙනවා. විවිධ අධ්‍යනයන් ට අනුව ඉඩම්, බෙදුම් සහ තෙස්තමේන්තු නඩුවක් අවසන් වීමට පරම්පරාවකට වැඩි කාලයක් ගතවන බව දක්නට ලැබෙනවා . අප මෙම තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා ප්‍රධාන විසඳුමක් ලෙස අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව ඩිජිටල්කරණය මෙන්ම විශාල ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් අමාත්‍යාංශය තුළ

මෙන්ම අධිකරණ ක්ෂේත්‍රය තුළ මේ වන විටත් සිදු කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ වසර 42කට පසුව උපරිමාධිකරණයේ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව 14 දෙනෙකුගෙන් වැඩි කර ගැනීමට හැකි වුණා. ආර්ථිකයේ පැවති අසීරු තත්ත්වය යටතේ වුවද පසුගිය වසර 2 තුළ අවස්ථා දෙකකදී අධිකරණ නිලධාරීන් 76ක් බඳවා ගනු ලැබුවා. එසේම අවස්ථා දෙකකදී 34 දෙනකුව මහාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස උසස් කළා. මේ නිසා අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමටත් නව අධිකරණ හඳුන්වා දීමටත් හැකි වුණා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ ශාලා 3 සිට 5 දක්වා වැඩි කිරීමත්, අභියාචනාධිකරණය අධිකරණ ශාලා 5 සිට 10 දක්වා වැඩි කිරීමත් මේ කාලය තුළ සිදු කළා. එසේම ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා ඩිජිටල්කරණය හඳුන්වාදී නීතිඥවරුන් ඇතුළු පුරවැසියන්ට විශාල පහසුවක් සලසා දී තිබෙන බවද මේ අවස්ථාවේ සඳහන් කළ යුතුයි.

ඒ වගේම ව්‍යාපාර කිරීමේ පහසුව දර්ශකයේ (Ease of doing business) ඉහළට පැමිණීම, විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම වෙනුවෙන් ඉතාම වැදගත්. වාණිජ ආරවුල් විසඳීම සඳහා බස්නාහිර පළාතේ වාණිජ මහාධිකරණ 4ක් ස්ථාපිත කොට ඇති අතර, තවත් වාණිජ මහාධිකරණ ස්ථාපිත කිරීමට සියළු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා. ඒ වගේම වරාය නගර (Port city) ව්‍යාපෘතිය සමඟ නිර්මාණය වූ නව ආයෝජන තත්ත්වය සඳහා ආයෝජකයන්ගේ ආරවුල් ඉක්මණින් විසඳීමට ආයෝජන අධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ ද සිදු කරමින් තිබෙනවා.

තවද හිතකර ආයෝජන පරිසරයක් ගොඩනැඟීම සඳහා ගිවිසුම් බලාත්මක කිරීමේ කාර්ය සාධන බලකායක්ද (Enforcing Contract Task Force) ක්‍රියාත්මක වෙනවා.

2023 වර්ෂයේ සිවිල් නඩු විධාන සංග්‍රහයට සිදුකළ සංශෝධනය මඟින් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ ක්‍රමය හඳුන්වා දී තිබෙන නිසා නඩු විභාග කඩිනමින් සිදු කිරීමට හැකි වී තිබෙනවා. ඉදිරියේදී පූර්ව නඩු විභාග වෙනමම විනිශ්චයකාරවරයන් යටතේ කඩිනමින් සිදු කිරීමටද සැලසුම් කර තිබෙනවා.

දිසා අධිකරණවල ගොඩගැසී තිබෙන නඩු සංඛ්‍යාවෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් මුදල් සම්බන්ධ නඩු බව පැවසිය යුතුයි. මේ ආකාරයට අධිකරණයවලට එන මුදල් නඩු ප්‍රමාණය අඩු කිරීම සඳහා සමථ මණ්ඩලවල මූල්‍ය සීමාව ලක්ෂ 10ක් දක්වා ඉහළ නැංවනු ලැබුවා.

ඒ වගේම 2022 වර්ෂයේදී අධිකරණ ව්‍යුහයට නව වෙනස්කමක් ඇති කරමින් සුළු හිමිකම් අධිකරණ හඳුන්වා දීමට අමාත්‍යාංශය කටයුතු කළා. මෙම අධිකරණයට රුපියල් මිලියන 2ක් දක්වා මූල්‍ය ආරවුල් යොමු කළ හැකියි. මෙම අධිකරණයේ ලඝු කාර්ය පටිපාටිය අනුගමනය කරන බැවින් ඉතාමත් ඉක්මණින් මූල්‍ය ආරවුල් විසඳීමේ හැකියාව ලැබෙනවා. දැනට වෙනමම සුළු හිමිකම් අධිකරණ කොළඹ, මහනුවර සහ මාතලේ ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී අනෙකුත් ප්‍රදේශවල මෙම සුළු හිමිකම් අධිකරණ වෙනම පිහිටුවීමට පහසුකම් සපයනවා. එතෙක් මෙම අධිකරණ ක්‍රියාපටිපාටිය දිසා අධිකරණවලම ක්‍රියාත්මක වෙනවා.

අධිකරණ කලාප නීර්ණය කිරීමේ කමිටුව විසින් ග්‍රාමීය ජනතාවට යුක්තිය සඳහා ප්‍රවේශය පහසු කිරීමට නව අධිකරණ රැසක් යෝජනා කර තිබෙනවා. ඒ අනුව මොරවැව ප්‍රදේශයේ සංචාරක අධිකරණයක් ආරම්භ කළඅතර, ඉදිරියේදී තවදුරටත් ඉහත වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. මැදවච්චිය, කහටගස්දිගිලිය, නොච්චියාගම, කලවංචිකුඩි, නාරම්මල, කලවාන සංචාරක අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ දක්වා උසස් කිරීමට කටයුතු කළා. එසේම පසුගිය වසර දෙක තුළ තවත් අතිරේක අධිකරණ කිහිපයක්ම ස්ථාපිත කළ බවද සඳහන් කළ යුතුයි.

තවද අධිකරණයට යාම වෙනුවට ආරවුල් සමථකරණය කිරීමේ කටයුත්ත මේ වන විට ශක්තිමත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආරවුල් නිරවුල් කිරීමේ ප්‍රතිශතය 70% කට ආසන්න ප්‍රමාණයක තිබීම ඉතාමත් ප්‍රශංශනීය බවත්, එය ජාත්‍යයන්තරවද ඇගයීමට ලක් වී තිබෙන බව මේ අවස්ථාවේ සඳහන් කිරීමට කැමතියි.

මහජනතාවට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සඳහා අධිකරණ අමාත්‍යාංශය යටතේ තිබෙන නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය යන ආයතන ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු අප සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව මඟින් 2023 වර්ෂයේදී පමණක් පුද්ගලයන් 182,579 කට එහි සේවය ලබා දී තිබෙනවා.

සෑම පුරවැසියෙකුටම සමානව සලකමින් ජාතික අනන්‍යතාවට ගරු කරමින් සාමය අගයන්නා වූත් ශ්‍රී ලාංකික ජාතියක් නිර්මාණය කිරීම උදෙසා ජාතික සමගිය හා ප්‍රතිසංධානය පිළිබඳ කාර්යාලය, අතුරුදහන් වූවන්ගේ කාර්යාලය, හානිපූර්ණය පිළිබඳ කාර්යාලය කටයුතු කරනවා. ඊට අවශ්‍ය නීති සංශෝධන සිදු කර අවශ්‍ය සියළුම මගපෙන්වීම් අමතාංශ්‍යය මඟින් සිදු කරනු ලබනවා.