Sunday, September 29, 2024
Follow Us
ගංවතුරෙන් නිවාස හානිවලට ලක්වූවන්ට සහන සැලසීමට සාකච්ඡා
පසුගිය දිනවල දිවයිනට බල පෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්රදේශවලට ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නිවාස හානි වලට ලක් වූ පුද්ගලයන්ට සහන සැලසීම වෙනුවෙන් ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධව සාකච්ඡාවක් අද (25) ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ දී පැවැත්විණ.

මෙහි දී අමාත්යවරයා ආපදාවන්ට ලක්වූ ජනතාව වෙත ඔවුන්ගේ නිවාස පිළිසකර කරගැනීම සඳහා අවශ්ය සහාය කඩිනමින් ලබාදීම සඳහා ගත යුතු ඉදිරි පියවරයන් සම්බන්ධව පැමිණි සිටි නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය.

අතිගරු ජනාධිපතිතුමා ප්රමුඛ රජය විසින් අනුමත කර ඇති පරිදි පුර්ණ හෝ අර්ධ නිවාස හානි වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල් වෙනුවෙන් අවශ්ය මුල්ය ප්රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් මේ වනවිටත් වෙන් කර ඇති බවත්, එම මුල්යධාර ලබාදීම නිසි ක්රමවේදයක් ඔස්සේ දිස්ත්රික් ලේකම් කාර්යාල සහ ප්රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් රාජ්ය අමාත්යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
 
පුර්ණ වශයෙන් හානි වී ඇති එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 25ක් ලබාදීමට දැනට යෝජනා වී ඇති අතර, එවැනි නිවාසවල ප්රතිසංස්කරණ කටයුතු සඳහා ත්රිවිධ හමුදා සාමාජිකයින්ගේ ශ්රම දායකත්වය ලබාගැනීමට යෝජනා වී ඇති බවත්, එමගින් අවශ්ය ශ්රමය ලබාගැනීමේදී ඇති වන ගැටළු මඟහරවා ගැනීමට හැකි වනු ඇති බවත් අමාත්යවරයා කරුණු දක්වමින් පැහැදිලි කළේය.
එමෙන්ම මෙම ක්රියාවලියේ දී පැන නැගිය හැකි ප්රායෝගික ගැටලු හා ඒවාට ගනු ලබන ක්රියාමාර්ග ඇතුළු බොහෝ කරුණු සම්බන්ධයෙන් මෙහි දී රාජ්ය නිලධාරින් සමඟ සාකච්ඡාවට ලක් විය.
ඒ අනුව ග්රාම නිලධාරින්, සංවර්ධන නිලධාරින්, කෘෂී නිලධාරින්, ආපදා සහන නිලධාරින් ඇතුළු රාජ්ය සේවයේ සියලු නිලධාරින්ගේ සහයෝගය මෙම ක්රියාවලිය සඳහා අත්යවශ්ය බව ද අමාත්යවරයා අවධාරණය කළේය.
 
මෙම සාකච්ඡාව සඳහා ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් උදය හේරත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන සහ කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක, ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අතිරේක ලේකම් ගමගේ ධර්මතිලක මහතා, මුදල් අමාත්යංශයේ නිලධාරීන්, දිස්ත්රික් ලේකම් කාර්යාල හා ප්රාදේශීය ලේකම් කාර්යාල වල නියෝජිත නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ මාණ්ඩලික නිලධාරින් සහ ජ්යෙෂ්ඨ ත්රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් සහභාගී විය.