Friday, July 04, 2025
Follow Us
මැතිවරණ ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්

2020 මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු හෙට (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පොහොය දිනයේ ආගමික කටයුතු සඳහා බාධා එල්ල වීමට ඇති හැකියාව, මැතිවරණ නිලධාරීන් රාජකාරී කටයුතු සිදු කිරීම යන කරුණු මත මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ගෙයින් ගෙට යෑම, ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, අත් පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, සහ පෝස්ටර්, දැන්විම්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

හෙට (02) මධ්‍යම රාත්‍රි 12.00 පසු ආරම්භ වන නිහඬ කාලසීමාව තුළ සියලු දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ අපේක්ෂකයින් නීතිවිරෝධී ක්‍රියාවලින් වැළකී නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට උපරිම සහය වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත.

(Aruna)