Friday, April 19, 2024
Follow Us
 රෝහිත බෝගොල්ලාගමත් එජාප අපේක්ෂකත්වය අත්හරී!

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු අපේක්ෂක ධුරයෙන් සහ එජාප සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව, හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන රෝහිත බෝගොල්ලාගම මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් ඔහු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා දැනුවත් කර තිබේ.

බෝගොල්ලාගම මහතා එජාප නායකත්වයට ලිපියක් යවමින් පවසන්නේ පක්ෂ දේශපාලනය පසෙක දමා ශ්‍රී ලංකාවට මුල්තැන දෙමින් කටයුතු කිරීමට කාලය එළඹ ඇති බවයි. කොවිඩ් 19 වසංගතයෙන් රට මුදා ගැනීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට පක්ෂ භේදයෙන් තොරව සහයෝගය ලබාදිය යුතු බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ජුනි 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තමන් එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු අපේක්ෂක ධුරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව බෝගොල්ලාගම මහතා පක්ෂ නායකත්වය වෙත දැනුම් දී තිබේ.

රෝහිත බෝගොල්ලාගම මහතා මීට පෙර ද එජාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී පක්ෂ මාරු කරමින් ආණ්ඩුවට එකතු වූ අතර ඔහු විදේශ ඇමති ධුරයටද පත්විය. ඉන්පසු නැවත එජාපයට එක් වූ ඔහු මෙවර මහ මැතිවරණය සඳහා එජාප ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් විය.

පසුගිය දිනවලදී සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ මංගල සමරවීර මහතා ඇතුළු කිහිප දෙනෙකු අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වූ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ද ඊයේ ප්‍රකාශ කර තිබුණේ තම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බවයි.

(LNW)