Monday, August 04, 2025
Follow Us
පීචන් මන්ත්‍රි ධුරයකට පාර්ලිමේන්තු එන්නේ නෑ

සර්වබලධාරී ජනාධිපති කෙනෙක්වී විශ්‍රාම සුවයෙන් සිට නැවත පීචන් වූ මන්ත්‍රී කෙනෙකු වී පාර්ලිමේන්තුවට යාමට තමාට පෙරේතකමක් නොතිබූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක පැවසුවාය.

සිය 75 වැනි ජන්ම දිනයට සමගාමීව පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් හොරොව්පොතාන දුටුවැව වැවේ වානෙන් පිටවන ජලය පලුගස්වැවට හැරවීම සඳහා වේල්ලක් ඉදි කිරීමට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව ඇය එසේ කීවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මෙසේද පැවසුවාය.

මම දේශපාලනය කළේ මම හැදෙන්න නොවෙයි. මම දේශපාලනයට ආවේ රටේ මහා මාර්ග ඉදිකර කොමිස් ගැසීමට නොවෙයි.

හැකිතාක් අඩු වියදමින් ගම හදා රට හැදීමටයි. මගේ අරමුණ වුණේ රටේ ආර්ථිකය සංවර්ධනය කරන ගමන් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දී ඒ තුළින් යහපත් ගුණගරුක මිනිසුන් පිරිසක් රටට සමාජයට දායාද කිරීමයි. අපි කුඩා කාලයේ එහෙම වැදගත් මිනිසුන් දේශපාලනයේ සිටියා. හැබැයි දැන් නම් එහෙම නෑ.

රට හැදීමට තිබූ ආශාව නිසා කලක් මම දේශපාලනය කළා. මම දේශපාලනයෙන් සමුගෙන විශ්‍රාම සුවයෙන් සිටින විට පසුගිය අවුරුදු පහේදී මාව බලෙන් ඇදල නැවත දේශපාලනයට ගෙනාවා. හැබැයි ඒ අවුරුදු පහේදී මට තේරුම් ගියා මේ රටේ නායකයෝ යැයි කියා ගන්නා දේශපාලනඥයන් එක් අයෙකුටවත් මේ රට හැදීමට නොහැකි බව.

ඒ සඳහා ඔවුනට නිසි අධ්‍යාපනයක්, දැනුමක්, දක්ෂතාවක්,උවමනාවක් සහ අවංකකමක් තිබුණේ නෑ. තමා හැදිලා හොරකම් කිරීමට විතරයි දේශපාලනඥයෝ හැමෝම දන්නෙ. ඒ නිසා එවැනි අය සමග දේශපාලනය කිරීමට මා කැමැති නෑ.

අපි ලොකු විශ්වාසයක් තියාගෙන පසුගිය කාලෙ මේ පළාතෙම කෙනෙක් ජනාධිපතිවරයා කළා. එයා රටත් කාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් ඉවර කළා.

අලුත් තරුණ පරපුරක් මේ ගම්වලින් දේශපාලනයට එනතුරු අපි බලා සිටිනව.

මගේ දෙමව්පියන්ගෙන් ඉගෙන ගත් දේවල් අනුව රට වෙනුවෙන් වැඩ කිරීමට සහ ඊට දායකත්වයක් ලබාදීමට මම දිගටම ක්‍රියා කරනව. එවැනි දේවල් කිරීමට හැමදාමත් දේශපාලන බලය අවශ්‍ය නෑ. මා නියෝජනය කරන රාජ්‍ය නොවන සංවිධාන සහ පදනම් කිහිපයක් තිබෙනව. ඒවා මගින් ගම්බද මිනිසුන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරගෙන යනව.

එමගින් හොරුත් සමග එකතුවී රට විනාශය කරා ගෙන යනවට වඩා පොඩියට හරි රට හැදීමට පුළුවන් කියා මම හොඳාකාරවම දන්නව. ඒ වගේ අනිකුත් දේශපාලනඥයොත් ක්‍රියාකළොත් මේ රට ගොඩ නැගීමට හැකිවෙයි කියා මම විශ්වාස කරනව. ඔය කවුරු කවුරුත් සිටින නායකයෝ ඇවිද ගැනීමටවත් බැරිව කොර ගගහ ඉන්නෙ නැතිව තරුණ පරපුරට නායකත්වයට ඒමට ඉඩ දී දේශපාලනයෙන් විශ්‍රාම ගෙන ගෙදර ගියොත් මේ රට හදන්න පුළුවන්.

(Aruna)