Monday, August 04, 2025
Follow Us
පොහොට්ටුවේ ඇතැමුන් කරුණා සුද්ද කරද්දී මහින්ද කරුණා වැරදියි කියයි

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පසුගියදා අම්පාරේදී කළ ප්‍රකාශය පිළිගත නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගෙන තිබේ. ඒ ඊයේ (01) අගමැතිවරයා හා දමිළ මාධ්‍යවේදීන් අතර අරලියගහ මන්දිරයේදී පැවති හමුවේදීය.

කරුණා අම්මාන්ගේ කතාව තමන් අනුමත නොකරන අතර මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද ඒ ගැන පරීක්ෂණයක් සිදුකරමින් පවතින බවයි රාජපක්ෂ මහතා පැවසුවේ.

එමෙන්ම 1977න් පසු උතුර නැගෙනහිරට දැවැන්තම වැඩ කොටසක කළේ තමන්ගේ ආණ්ඩුවෙන් බව පැවසූ අගමැතිවරයා කියා සිටියේ පසුගිය වසර 05 තුළ සංවර්ධනය අතින් රට පස්සට ගියා මිසක ඉදිරියට නොපැමිණි බවයි.

පසුගිය වසර පහ තුළ එක්සත් ජාතික පක්ෂය හා TNA ආණ්ඩුව උතුරේ ජනතාව වෙනුවෙන් කළ සංවර්ධනයක් නැති බවයි හෙතෙම පෙන්වාදුන්නේ.

"මොනවහරි ප්‍රශ්නයක් අරගෙන දේශපාලන වශයෙන් ඉදිරිපත් කරකර හිටියා මිසක් ජනතාවට පළාත් සංවර්ධනය කරන්න ඒ අයට පුළුවන්කමක් ඇති වුණේ නැහැ. මාධ්‍යත් ඒවා අවුස්සා අවුස්සා හිටිය මිසක් අඩුපාඩුකම් හදාගන්න කට්ටිය ලවා වැඩ කරවාගන්න මහන්සි ගත්තේ නැහැ කියලයි මගේ විශ්වාසය."

එමෙන්ම ඉදිරි මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලය ලබා ගැනීමට නොහැකි වුවහොත් TNA සහය බලාපොරොත්තු වෙනවාද යන්න මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් අගමැතිවරයා පැවසුවේ ඒවා ඒ වෙලාවට බලමු යනුවෙනි.

(LNW)