මෙවර මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී මනාප අංකය ප්‍රදර්ශනය කිරීමට ඇති අවස්ථා අඩුවීම සම්බන්ධයෙන් අපේක්ෂකයින් විවිධ චෝදනා නැඟුව ද මැතිවරණ කොමිසම විසින් කර ඇත්තේ අලුත් නීති පැනවීමක් නොව මැතිවරණ පනතේ තිබෙන නීතිය ක්‍රියාත්මක කරවීම පමණක් බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඒ අනුව මෙතෙක් සිදුවූ වරදක් නිවැරදි කිරීම දැන් සිදුව ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.
එසේම අපේක්ෂකයින් ජනතාව අතර ප්‍රසිද්ධ නම්, ජනතාවට වැඩකර ඇත්නම්, ඔවුන්ට බියවීමට හේතුවක් නොමැති බව පැවසූ ඒ මහතා ප්‍රසිද්ධ නොමැති අපේක්ෂකයින්ට යම් ගැටළුවක් ඇති නමුත් ඔවුන්ට තිදෙනෙකුගෙන් සමන්විත පිරිසක් යොදවා ගෙන්ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමටත් කුඩා රැස්වීම් පැවැත්වීමටත් හැකි බවත් ප්‍රකාශ කළේය.
ඒ ඒ දිස්ත්‍රික්කවල සියලුම අපේක්ෂකයින්ගේ මනාප අංක සඳහන් පත්‍රිකාවක් මැතිවරණ කොමිසම විසින් සෑම නිවසකටම බෙදාහරින බවත් ඒ මහතා සිහිපත් කළේය.
මැතිවරණ කොමිසම වෙත අපේක්ෂකයින්ගෙන් එල්ලවන චෝදනාවන්ට පිළිතුරු දෙමින් ඒ මහතා සඳහන් කළේ මැතිවරණ පනත ඇතුළු නීති සකස් කර ඇත්තේ තමන් විසින් නොව පාර්ලිමේන්තුව විසින්ම බවයි.
(LNW)