Sunday, August 03, 2025
Follow Us
මංගලගෙන් ෆොන්සේකාට දැඩි ප්‍රතිචාරයක් !
තමන් පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගැනීමට යුද විරුවන් නොදන්නා දේශාපාලනයක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවීම ද එක් කරුණක් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.
 
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මෙවර මහ මැතිවරණ ක්‍රියාවලියෙන් ඉල්ලා අස්වීම ගැන  පසුගියදා මීරිගම පැවති ජන හමුවකදී සමගි ජනබලවේගය හී ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දැක්වූ අදහස් සම්බන්ධව තද ප්‍රතිචාරයක් දක්වමින්ය.
 
මීරිගම ජන හමුවේදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසා තිබුණේ හිටපු අමාත්‍ය මංගල සමරවීර ගේ ඉවත්වීම සමගි ජනබලවේගය ට ආශීර්වාදයක් බවය. එසේම භික්ෂුන් විවේචනය හේතුවෙන් සමගි ජනබලවේගය හී ජන්ද අඩුවීමේ අවධානම පහළ ගිය බවත් ඔහු පවසා තිබිණ.
ඒ සම්බන්ධව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර දැක්වූ ප්‍රතිචාර ය පහත දැක්වෙයි.
 

හිතවත් සරත්,

ඔබගේ දේශපාලන පාරාජිකභාවය මගේ නමට බැර කිරීමට දරණ උත්සාහය පිළිබඳ පළමුව කණගාටු වෙමි. ඔබගේ දේශපාලන විවේචනය සාධාරණ නම්, ඔබගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී  පෙරමුණ 2015 වර්ෂයේ මහ මැතිවරණයට තරඟ කර කොළඹ දිස්ත්‍රික්කයෙන්  ඡන්ද 5,238 (0.43%)ක් ද මුළු ලංකාවෙන්ම ඡන්ද 28,587 (0.26%) ලබා අන්ත පරාජයට පත් වූයේ ද මාගේ දේශපාලන භාවිතාව නිසා දැයි දැන ගැනීමට කැමැත්තෙමි. අනෙක පසුගිය ජනාධිපතිවරණයේ දී ඔබ නායකත්වය ලබාදුන් කැළණිය ආසනයෙන් සජිත් ප්‍රේමදාස  මහතා ඡන්ද 16,147කින් පරාජය වූයේ ඔබගේ දේශපාලන පාරිශුද්ධකම නිසා දැයි නොදනිමි.

වැඩිදුරටත් ඔබගේ දැනගැනීම පිණිස මෙසේ ද සටහන් කරමි. මා 1989 සිට මේ දක්වා පැවැති සියලු මැතිවරණ සඳහා තරඟ කර ඇති අතර ඒ සෑම අවස්ථාවක දීම මාගේ ප්‍රතිපත්ති හා මාගේ දේශපාලන විශ්වාසයන් ඍජුව ප්‍රකාශ  කරමින්, මා ජයග්‍රහණය  කළා පමණක් නොව මා නියෝජනය කළ දේශපාලන පක්ෂය ද ජයග්‍රහණය  කරවා ඇත.

නමුත් 2015 පරාජිත ඔබට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හිමි වූයේ ද එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවය නිසා මන්ත්‍රීධුරයක්  පුරප්පාඩු වූ විට එක්සත් ජාතික පක්ෂයේ නායක ගරු රනිල් වික්‍රමසිංහ  මහතාගේ අනුකම්පාවේ පිහිටෙන් බව මතක් කර දෙමි. අද ඔබ තැන තැන වේදිකාවල ගරහමින් සිටින්නේද එදා පරාජිත ඔබ පාර්ලිමේන්තුවට කැඳවා ජාතික ලැයිස්තු මන්ත්‍රී  ධූරයක් ලබාදුන් එම නායකයාටම බව අමතක නොකරන ලෙස ද ඉල්ලා සිටිමි.

ඒ වගේම මා පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගැනීමට හේතු වූ කරුණු අතර ඔබ වැනි යුධපිටියේ සිටිය යුතු යුද විරුවන් නොදන්නා දේශාපාලනයක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවීම ද එක් කරුණක් බව සිහිපත් කරමි.  

 

(LIN)