Sunday, August 03, 2025
Follow Us
ලෝක කුසලානය පාවා දුන් කතාව අමූලික බොරුවක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පාවාදුන් බවට රජයේ අමාත්‍යවරයකු කර ඇති ප්‍රකාශය අමූලික බොරුවක් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ගාල්ල, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පැවති ජනහමු අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙම ජනහමුවලදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසුවේය.

‘‘මේ නාඩගමට හේතුව රටේ සියලු ආර්ථික ප්‍රශ්න පසෙක දමා ජනතා අවධානය වෙන අතකට හැරවීම. රජයේ දුර්වල පාලනය ජනතා සිත්සතන්වලින් අමතක කරවීම මේ කුමන්ත්‍රණයේ එක අරමුණක් වෙලා තියෙනවා. කුමාර සංගක්කාරට පහර ගැසීම අද ඊයේ පටන්ගත්තු දෙයක් නෙවෙයි. ඒක ඒ කාලෙ ඉඳලාම සංගක්කගේ දක්ෂතාවට තියෙන ඊර්ෂ්‍යාව නිසා සිදු කරන එකක්. මේ කුහක මඩ ගැසීම, අවලාද නැගීම් සමගි ජන බලවේගය තරයේ හෙළා දකිනවා.

රටේ සංවර්ධනය ශක්තිමත් කර ආර්ථිකය ගොඩනැගීම කළ යුතුයි. මේක අමතක කරන්න විවිධ මාතෘකා ගෙනඒම අපි හෙළා දකිනවා. ආණ්ඩුවට මේ රටේ ආර්ථිකය හදන්න බැරි නම් අගෝස්තු පස්වැනිදායින් පසු සමගි ජන බලවේගයට රටේ ජනතාව බලය ලබාදුන්නට පසු ආර්ථිකය හදලා පෙන්වනවා.

අද මේ රටේ ජනතාව ඉතාම අතෘප්තිකර ජීවන රටාවක් ගෙවනවා. කොවිඩ්-19 එය තව ප්‍රපාතයකට ඇද දැමුවා. මේ වනවිට රටේ කර්මාන්ත කඩාවැටිලා. සංවර්ධනය අතරමග නතර වෙලා තියෙනවා. මේ රජය ක්‍රියාත්මක කරන්නේ ජනතාව රවටන ඇස්බැන්දුම් විජ්ජා පමණයි. ලීසිං වාරික සහනය ලබාදෙනවා කියලා කිව්වා, නමුත් ඒ වෙනුවෙන් කතා කරන මිනිස්සුන්ව ගහලා මරනවා.

පසුගිය නොවැම්බර් 16 වැනිදා වැඩිපුරම පොහොට්ටුවට ඡන්දය දුන්න විදේශ ශ්‍රමික ජනතාව කොරෝනා බෝම්බ කියලා අපහාස උපහාස කරන්න තරම් ආණ්ඩුව ම්ලේච්ඡ වුණා. කරුණා අම්මාන් කියනවා කොවිඩ්වලටත් වඩා එයා භයානකයි, මොකද අලිමංකඩදී එක දවසේ හමුදාවේ 3000ක් මැරුවා කියලා. අරන්තලා භික්ෂු ඝාතනය, දළදා වහන්සේට බෝම්බ ගැහුවෙත් ඒකට මුල්වුණේ කවුද? මේවා ගැන ආණ්ඩුවට උත්තර නෑ. කරුණා අම්මාන් කියනවා එයාට පොහොට්ටුවේ ජාතික ලැයිස්තු ඇමැතිකමක් දෙන්නම් කියලා මහින්ද මහතා කිව්වාලු.

පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවට එන්න තියෙන හොඳම සුදුසුකම අපේ රටේ හමුදාව 3000ක් එක දවසකදි ඝාතනය කිරීමයි. එදා දේශාභිමානය, දේශප්‍රේමය ගැන කතා කළ ඇත්තෝ අද නිහඬයි. කිසිම ප්‍රතිචාරයක් නෑ. ආණ්ඩුවත් කරුණා අම්මාන්ට බයවෙලා.’’

 

(Aruna)