Saturday, August 02, 2025
Follow Us
බැඳුම්කර ගණුදෙනුව ගැන හර්ෂගෙන් හා කබීර්ගෙන් අහන්න - එජාපෙ දැන් බැඳුම්කර හොරු කවුරුවත් නැහැ

2015 ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය මුදල් ඇමති වන හර්ෂ ද සිල්වා හා හිටපු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන අයගෙන් ප්‍රශ්න නොකරන්නේ මන්ද යන්න හිටපු අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතා විමසා සිටියි.

එම බැඳුම්කර වංචාව සිදුවන විට මහ බැංකුව තමන් යටතේ නොතිබූ බවයි එවකට මුදල් අමාත්‍යවරයාව කටයුතු කළ රවී කරුණානායක මහතා අවධාරණය කරන්නේ.

එහෙයින් උක්ත පුද්ගලයන්ට ඒ සම්බන්ධයෙන් වගකීමක් ඇති අතර ඔවුන්ගෙන් ද මේ පිළිබදව ප්‍රශ්න කළ යුතු බව හෙතෙම පවසයි.

කෝප් කමිටු වාර්තා ඇතුළු මේ සම්බන්ධයෙන් කතා කළ කිසිදු වර්තාවක දැනට එක්සත් ජාතික පක්ෂයේ සිටින කිසිවෙකුගේ නම් ඇතුලත් නොවන අතර නම් සඳහන් සියලු දෙනා සිටින්නේ අනෙක් පාර්ශවයේ (සමඟි ජන බලවේගයේ) බව කරුණානායක මහතා කියා සිටියි.

ඒ අනුව මේ වන විට එක්සත් ජාතික පක්ෂය තුළ එකී බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධ චෝදනා එල්ල වී තිබෙන කිසිවෙකු හෝ නැති බව හෙතෙම සඳහන් කරයි.

ග්‍රීක් බොන්ඩ් ගණුදෙනුවේදී රු.මිලියන 5500ක් අහිමි වූ අතර මෑතකදී කතා බහට ලක් වූ ගල්කිස්ස වෙරළේ වැලි ප්‍රශ්නය රු.මිලියන 890ක් ආදිය මෙම බැඳුම්කර ගණුදෙනුවට වඩා විශාල ගණුදෙනු වන නමුත් ඒවා ගැන කිසිදු ප්‍රශ්න කිරීමක් නොමැති බවද හෙතෙම විමසා සිටියි.

එමෙන්ම මෙම මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් උත්තර දීමට රවී කරුණානායක මහතා සජිත් ප්‍රේමදාස මහතාට විවෘත විවාදයකට පැමිණෙන ලෙසද ඉල්ලිමක කරයි. එහෙත් ඔහු එවැනි දෙයකට නොපැමිණෙන බවයි හිටපු අමාත්‍යවරයා පවසනේ.

රවී කරුණානායක මහතා මෙම අදහස් දැක් වූයේ ඊයේ (18) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවෙදිය.

(LNW)