Thursday, January 15, 2026
Follow Us
'ඇවන්ට්ගාර්ඩ් සමාගමට එරෙහි දේශපාලන පළිගැනීම්' - රාජිත සේනාරත්න, පාඨලී චම්පික, අනුර කුමාරට නොතේසි

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුණ රණතුංග සහ අනුර කුමාර දිසානායක ඇතුළු පාර්ශව 17 කට දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම අද සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ, ඇවන්ට්ගාඞ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් අලාභ සිදුවූ බව පවසමින් එහි සභාපති නිශ්ශංක සේනාධිපති ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාලවයි.

ඒ අනුව මෙම හිටපු මන්තී‍්‍රවරුන් සිව් දෙනාට අමතරව හිටපු නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න, ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරටද සිතාසි නිකුත් කර තිබෙනවා.

මෙම පිරිසට ලබන 17 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසටයි එහිදී දැනුම් දී ඇත්තේ.

මේ අතර ඇවන්ට්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අද දිනයේද දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

ඔහු දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේ 5 වන දිනටයි.

(Neth)