Saturday, August 02, 2025
Follow Us
මහ ඡන්දෙට සිංහල බෞද්ධ බලවේගයක් ගොඩ නැගෙනවා – දෙමළ බලවේග මට උදව් කරන්න – විග්නේෂ්වරන් සල්ලි ඉල්ලා ලෝකය වටේ යයි

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී රටේ සිංහල බෞද්ධ බලවේගයක් ගොඩනැගීමට විශාල පිරිසක් උත්සහ දරන නිසා සියලූම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට තම සන්ධානයට පූර්ණ සහය දක්වන ලෙස උතුරු පළාත් හිටපු ප‍්‍රධාන ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා 13 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා තිබේ.

දෙමළ ජනතා දේශීය පක්ෂය විසින් නිල වෙබ් අඩවියක් ආරම්භ කර ඇති අතර ඒ ඔස්සේ ලෝකයේ සිටින දෙමළ ජනතාවට පණිවුඩයක් නිකුත් කරන එම පක්ෂයේ නායක සී. වී. විග්නේශ්වරන් මහතා ප‍්‍රකාශ කර ඇත්තේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමට සමත් කිසිම දේශපාලන පක්ෂයක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී නැති බවයි.

දෙමළ ‘දේශපාලන සිරකරුවන්’ නිදහස් කර ගැනීමත් යුද සමයේදී අතුරුදන්වූවන් සම්බන්ධයෙන් යම් සාධාරණයක් ඉටුකර ගැනීමත් යන ප‍්‍රශ්න දෙක හැරුණු විට දෙමළ ජනතාවට ඉටු කරගැනීම සඳහා තවත් අරමුණු රාශියක්ම ඇති බව සඳහන් කරන පක්ෂ නායකයා මේ වෙනුවෙන් අවශ්‍ය මුදල් සපයා දීමට ලෝකයේ සිටින සියලූම දෙමළ කොටස් උනන්දු විය යුතු බවත් සඳහන් කර තිබේ.

මුදල් බැර කිරීම සඳහා විශේෂ ගිණුමක් හඳුන්වාදී ඇති විග්නේශ්වරන් මහතා තවදුරටත් සඳහන් කර ඇත්තේ එම ගිණුමට බැර කරන මුදල් දෙමළ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා මිස දේශපාලන කටයුතුවලට හෝ වෙනත් කටයුතුවලට යොදා නොගන්නා බවයි.

මේ නිසා දෙමළ ජනතාව වෙනුවෙන් යම් ශක්තිමත් දේශපාලන ව්‍යුහයක් ගොඩනැගීම තමාගේත් තම පක්ෂයේත් අරමුණ බව කියන විග්නේශ්වරන් මහතා මේ ගෙන යන දේශපාලන අරගලයට සමස්ත ලෝකයේම දෙමළ බලවේගවල සහය ලබා දෙන මෙන් ඉල්ලා ඇත.

(Lanka Leads)