Friday, May 17, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ කොරෝනා පාලනයට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 1.3ක මුදලක්

මෙරට සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීම සඳහා උපකාරීවීමට සහ කොවිඞ් 19 වෛරසය ආසාදනයවීම හා එහි ව්‍යාප්තිය පාලනය කිරීමට සහයවීමක් වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1.3 ක් වෙන්කිරීමට අමෙරිකානු රජය තීරණය කර තිබෙනවා.

ඒ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ අමෙරිකානු එක්සත් ජනපද ඒජන්සිය හරහායි.

ඉතා දුෂ්කර අවස්ථාවලදී පවා අමෙරිකාව හා ශ‍්‍රී ලංකාව මිතුරන් සහ හවුල්කරුවන් ලෙස එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කළ බවයි මෙරට අමෙරිකානු තානාපති එලීනා බී ටෙප්ලිස් ප‍්‍රකාශ කළේ.

ඒ අනුව මෙම පරිත්‍යාගය හරහා පෙන්නුම් කෙරෙන්නේ ද ගෝලීය වසංගත තත්ත්වයකදී පවා අමෙරිකාව සහ ශ‍්‍රී ලංකාව අතර පවතින නොසැලෙන අනනෝන්‍ය සම්බන්ධතාව බව මෙරට අමෙරිකානු තානාපතිවරිය සඳහන් කළා.

එසේම මෙවන් අසීරු තත්ත්වයකදී කොවිඞ් 19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ශ‍්‍රී ලංකාවට සහය ලබාදීමට අවස්ථාවක් හිමිවීම සම්බන්ධයෙන් ආඩම්බර වන බව ද මෙරට අමෙරිකානු තානාපතිනිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අවදානම් තත්ත්වයන් පිළිබඳ සන්නිවේදනය, ආසාදන වැළැක්වීම සහ පාලනය ඇතුළු තවත් බොහෝ කරුණු සඳහා මෙලෙස අරමුදල් සැපයීම මඟින් ශ‍්‍රී ලංකාවට සහාය ලබා දීම අමෙරිකාවේ අපේක්ෂාවයි.

මීට අමතරව, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සඳහා ශ‍්‍රී ලංකාවේ රසායනාගාර පද්ධති සකස් කිරීමට ද අමෙරිකාව සහාය හිමිවනු ඇතැයි සඳහන්.

(Neth)