Friday, April 19, 2024
Follow Us
ශ්‍රී ලංකාව බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ 25 වැනි සංවත්සරය සමරයි

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශයේ (BIMSTEC) 25 වැනි සංවත්සරය සැමරීම නිමිති කොට ගත් වැඩසටහනක්, විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ සහයෝගයෙන් 2022 ඔක්තෝබර් 04 වැනි දින ලක්ෂ්මන් කදිරගාමර් ආයතයේ දී පැවැත්විණි. South Asia Network of Economic Modelling (SANEM) සහ InReach Global යන ආයතන, මෙම වැඩසටහන සංවිධානය කිරීම සඳහා සිය සහය ලබා දුන්හ.

මෙම වැඩසටහනෙ හි ප්‍රධාන කථිකයා ලෙස සහභාගී වූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, මෙම වසරේ මාර්තු මස ශ්‍රී ලංකාවේ පවත්වන ලද 5 වැනි බිම්ස්ටෙක් සමුළුව නිම වී මාස හයකට ආසන්න කාලයක් ගතව ඇති මෙවැනි අවස්ථාවක, මෙම වැඩසටහනට සත්කාරකත්වය ලබා දීමට ශ්‍රී ලංකාව හැකි වීම සැබවින්ම ඉතා සුවිශේෂී සහ වැදගත් අවස්ථාවක් වන බව සඳහන් කළේ ය. සංවිධානයක් වශයෙන් BIMSTEC සංවිධානය අතීතයේ දී ලබා දුන් දායකත්වය සහ එහි වත්මන් සුවිශේෂීත්වය සහ අදාළත්වය යන කරුණු, අමාත්‍යවරයාගේ ප්‍රධාන දේශනය මඟින් අවධාරණය කෙරිණි.

අග්නිදිග ආසියානු කලාපය ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන් අතර සිටින බවත්, බිම්ස්ටෙක් සංවිධානය තුළ පොදු සංස්කෘතියක් සහ පොදු ආගමික වත්පිළිවෙත් මෙන්ම, පොහොසත් ඉතිහාසයක් මෙන්ම ලේඛනගත ශිෂ්ටාචාරයක් පවතින බවත් රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා සිය දේශනය අතරතුර සඳහන් කළේ ය. ඕනෑම කලාපීය සංවිධානයක සාර්ථකත්වය පදනම් වන්නේ එහි සාමාජික රටවල ජනතාවගේ යහපැවැත්ම සඳහා දක්වන දායකත්වය මත බව යළිදු අවධාරණය කළ රාජ්‍ය අමාත්‍යවරයා, බිම්ස්ටෙක් හි අනාගත න්‍යාය පත්‍ර ඔස්සේ එම පරමාර්ථය සාක්ෂාත් කරගත හැකි වනු ඇතැයි තමාට දැඩි විශ්වාසයක් පවතින බවත්, එමඟින් සාමාජික රටවල ජනතාවට සේවය සැලසීමේ උදාරතර වගකීම වෙත සංවිධානය යොමු කළ හැකි බවත් සඳහන් කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් මහාචාර්ය සාජ් යූ. මෙන්ඩිස් මහතා මෙම වැඩසටහනෙ හි සමාරම්භක දේශනය පැවැත්වී ය. විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් මනෝරි මල්ලිකාරච්චි මහත්මිය සහ ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය නිහාල් පිටිගල මහතා විසින් මෙහෙයවන ලද සාකච්ඡා මණ්ඩප දෙකක් ද මෙම සැමරුමට ඇතුළත් විය. හිටපු විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, බිම්ස්ටෙක් හි හිටපු මහලේකම් සුමිත් නාකන්දල මහතා, ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ලක්සිරි මෙන්ඩිස් මහතා, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය සහ ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ පෞද්ගලික අංශයට අනුයුක්ත නිලධාරීහු පිරිසක් මෙම ප්‍රවීන මඩුල්ලට ඇතුළත් වූහ. පසුගිය වසර 25 තුළ බිම්ස්ටෙක් සංවිධානය ලද ප්‍රගතිය සහ එහි වත්මන් සුවිශේෂීත්වය යන කරුණු, මෙම විද්වත් මඩුල්ලේ සාකච්ඡාවට බඳුන් විය. රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව, විද්වතුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 ඔක්තෝබර් 04 වැනි දින

LNW