Friday, March 29, 2024
Follow Us
විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය E-CHANNELING APPOINTMENT පද්ධතියක් හඳුන්වා දෙයි

කොළඹ පිහිටි කොන්සියුලර් කටයුතු අංශය සහ යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල ඔස්සේ සත්‍යාපන සේවා අපේක්ෂා කරන සේවා අපේක්ෂකයන්ට වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින්, විදේශ කටයුතු අමාත්‍යංශය SLT මොබිටෙල් සමාගම සමඟ එක්ව, 2022 සැප්තැම්බර් 30 වැනි දින e-Channeling Appointment පද්ධතියක් හඳුන්වා දුන්නේ ය.

සත්‍යාපන සේවා ලබාගැනීමට අපේක්ෂා කරන අයවලුන්ට, 225 (ජංගම දූරකතන පරිශීලකයන්) හෝ 1225 (ස්ථාවර දූරකතන පරිශීලකයන්) යන දූරකතන අංක ඇමතීමෙන් සහ මොබිටෙල් හි e-Channelling වෙබ් අඩවිය (www.echannelling.com) ඔස්සේ සිය සේවා සඳහා අවස්ථාවක් වෙන් කරගැනීමට හැකි ය. එමෙන්ම, විදේශ කටයුතු අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට (www.mfa.gov.lk) පිවිසීමෙන් ද අවස්ථාවක් වෙන් කරගැනීමේ හැකියාව පවතී.

මෙම අවස්ථාවේ දී සිය අදහස් පළ කළ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සඳහා ඉල්ලුමක් නිර්මාණය වී ඇති බව සඳහන් කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස, විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ලබාගන්නා සේවා ඉල්ලීම් දෙගුණ වී ඇත. තවද, විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සත්‍යාපන අංශය තුළ දිගු පෝලිම් නිර්මාණය වී ඇත. මහජනතාව මෙමඟින් අපහසුතාවට පත්ව ඇති බැවින්, ජනතාවට වඩාත් හොඳ සේවාවක් ලබා දීමට විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කළ බව එතුමා මෙහිදී සඳහන් කළේ ය. මෙමගින් පෝලිම් නිර්මාණය වීම වළක්වා, සේවා ලබාගන්නා පුද්ගලයන්ගේ කාලය හා ශ්‍රමය ඉතිරි කරගැනීමට හැකි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද එතුමා වැඩිදුරටත් පැවසී ය. එමෙන්ම, මෙම කර්තව්‍යය විදේශයන් හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල කොන්සියුලර් සේවාවන් ද පරිවර්තනීය වෙනසකට බඳුන් කිරීමේ වැඩපිළිවෙළක ඇරඹුමක් වන බවද එතුමා සඳහන් කළේ ය.

මෙහිදී සිය අදහස් පළ කළ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, සේවාවල කාර්යක්‍ෂමතාවය වැඩිදියුණු කළ හැකි වන අයුරින් සියලුම රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමේ වැදගත්කම මෙන්ම, කාලය ගතවන කාර්යයන් අවම කිරීම සඳහා ඩිජිටල්කරණය ඔස්සේ සියලුම ශ්‍රී ලංකා දූත මණ්ඩල ඒකාබද්ධ කිරීමේ වැදගත්කම පිළිබඳව ද සඳහන් කළේ ය.

SLT මොබිටෙල් හි සභාපති සහ අධ්‍යක්ෂ රොහාන් ප්‍රනාන්දු මහතා, SLT මොබිටෙල් සමාගම හඳුන්වා දුන් මෙම පද්ධතියේ කාර්යක්ෂමතාව පිළිබඳව අවධාරණය කළේ ය.

විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය, විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ SLT මොබිටෙල් සමාගමේ නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 ඔක්තෝම්බර් 02 වැනි දින

LNW