Friday, April 26, 2024
Follow Us
පාපන්දු පිටියේ තෙරපුමෙන් ඉන්දුනීසියාවේ 127ක් ජිවිතක්ෂයට

ඉන්දුනීසියානු පාපන්දු තරඟයකින් පසු ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් පාලනය කිරීමට පොලිසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයකින් පසු ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 127 දෙනෙකු මිය ගොස් ඇති බවට එරට බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා.

නැගෙනහිර ජාවාහිදී Arema FC කණ්ඩායම සිට ප්‍රතිවාදී Persebaya Surabaya හමුවේ පරාජය වීමෙන් පසු ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ පුද්ගලයින් 180 ක් පමණ තුවාල ලබනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

තරගය අවසන් කිරීමේ සංඥාව විනිසුරුවරයා විසින් නිකුත් කිරීමත් සමග ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩා පිටිය ආක්‍රමණය කරන අයුරු දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

පසුව සිද්ධිය පාලනය කිරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර මේ හේතුවෙන් සෙනඟ අතර ඇතිවූ තෙරපීම් හේතුවෙන් ඇතිවූ අපහසුතාවයන් නිසා මෙලෙස පුද්ගලයින් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි නැගෙනහිර ජාවා හි පොලිස් ප්‍රධානී නිකෝ අෆින්ටා පවසා සිටින්නේ.
සිදුවීමෙන් මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද සිටින බවයි පොලිස් ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඉන්දුනීසියානු පාපන්දු සංගමය කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. එමෙන්ම මෙම සිද්ධිය මගින් "ඉන්දුනීසියානු පාපන්දු ක්‍රීඩාවට දැඩි අපකීර්තියක්" ඇතිවීමට හේතු වී ඇති බවයි ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ.

සිද්ධියෙන් පසුව ක්‍රීඩාංගනයෙන් පිටතට පැමිණි ක්‍රීඩා ලෝලීන් කැරළි මර්ධන පොලිසිය සමග ගැටුම්කාරී තත්වයක් ද ඇතිවූවා.

Neth