Friday, April 26, 2024
Follow Us
ආයෝජකයින් ගෙන්න ගන්න දූෂණය නැති කරන්න - අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට දැනුම්දීමක්

මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කළ යුතු බව ලෝක බැංකුව පවසනවා. එහි සභාපති ඩේවිඩ් මල්පාස් පැවසුවේ ශ්‍රී ලංකාව ණය සම්බන්ධයෙන් බරපතල අර්බුදයක සිටින බැවින ඔවුන් කඩිනමින් කටයුතු කිරීම වැදගත් බවයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මෙන්ම ජපානය, චීනය සහ ඉන්දියාව යන රටවල් සමග මේවනවිට කටයුතු කිරීම යහපත් ප්‍රවණතාවක්. එහෙත් සැලසුමක් සකස් කිරීම සහ හැකි ඉක්මණින් එය ක්‍රියාවට නැංවීම ඉතා වැදගත් බවයි ලෝක බැංකු සභාපතිවරයා පැවසුවේ.

මේ අතර දූෂණය පිටුදැකීම සම්බන්ධයෙන් සහ රාජ්‍ය පාලනය වැඩිදියුණු කිරීමේ ශ්‍රී ලංකාවේ කැපවීම අමෙරිකානු ආයෝජකයින් අපේක්ෂා කරන බව මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් පවසනවා. අමෙරිකානු ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ උත්සවයකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කර තිබුණා. එහිදී අමෙරිකානු තානාපතිවරිය වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ වෙළදපොළ පුළුල් කිරීම හා ශක්තිමත් කිරීමට එම ප්‍රතිසංස්කරණ වැදගත් වන බවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ විදේශීය ණය ගැටලුව විසදීමට තම රටට කළ හැකි සහ කළ යුතුදේ සිදු කිරීමට සූදානම් බව ජපානය ද පවසා තිබෙනවා. ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි පවසන්නේ ශ්‍රී ලංකාවේ ණය ගැටලුව විසඳීමට නම් අනෙක් ණය හිමි රටවල් වන චීනය සහ ඉන්දියාව ද ඊට මැදිහත්විය යුතු බවයි.

මෙම අදහස් පළ වුණේ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2යි දශම 9ක ණය මුදල ලබාදීම සදහා සිය විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවන කාලසීමාව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති පසුබිමකයි. ශ්‍රී ලංකාව ණය හිමියන් සමග සිදුකරන සාකච්ඡාවල ප්‍රගතිය මත බොහෝ දේ රඳා පවතිනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත්තේ.

Neth