Wednesday, April 24, 2024
Follow Us
ලංකාවට අලුත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක්

විශ්වවිද්‍යාල සිසුන්ට සුභ ආරංචියක්


ලෝකයේ ඕනෑ ම රටක සිසුන්ට අධ්‍යයන කටයුතුවල නිරත වීමට හැකි වන ආකාරයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසත්සුගු අසකාවා (Masatsugu Asakawa) අතර හමුව අද (30) පෙරවරුවේ මැනිලා නුවර ආසියනු සංවර්ධන බැංකු මූලස්ථානයේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මෙම යෝජනාව කර ඇත.

ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා විසින් පිළිගනු ලැබ තිබේ.

පසුගිය කාලය තුළ ආසියනු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ලබාදුන් හදිසි ආධාර පිළිබඳ සභාපතිවරයා වෙත ස්තූතිය පළ කර ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවත්නා දීර්ඝ කාලීන සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම පිළිබඳ සාකච්ඡා කර ඇත.

ශ්‍රී ලංකාව සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බවට සභාපතිවරයා එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහතික වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදු කරන කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා එහිදී ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා දැනුවත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආසියනු සංවර්ධන බැංකුවේ සේවයේ නියුතු වෘත්තිකයන් සමග ද සාකච්ඡාවක නිරත වී තිබේ.

Aruna